ශ්‍රී ලාංකේය කෙළිබිමේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ජාතික මහා ක්‍රීඩා උලෙළේ 42 වැනි අදියර යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගණයේදී ඊයේ (02දා) නිමාවට පත්විය. පළමු වරට 1967 වසරේදී ආරම්භ වූ මෙම ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ යාපනය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැවැති පළමු ක්‍රීඩා උලෙළ මෙය වේ.
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙම ක්‍රීඩා උලෙළ මීට මාස කිහිපයක ඉහතදී ආරම්භ වූ අතර, මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයකට පමණක් අවසන් වටයේ තරග ඉකුත් තෙදින (30, 01, 02) තුළ යාපනයේදී පැවැත්විණි.
ඔලිම්පික් හා ඔලිම්පික් නොවන ලෙස ක්‍රීඩා 33ක් යටතේ පැවැති මෙවර ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව (ජනාධිපති ශූරතාව) දිනාගැනීමට බස්නාහිර පළාත සමත්වූ අතර, ඉතිහාසගත වාර්තාවක් පිහිටුවමින් ඔවුන් රන් පදක්කම් 113ක් දිනාගැනීමට සමත්විය. මෙම ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ බස්නාහිර පළාත රන් පදක්කම් සියය අබිබවූ පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔවුන් දිනා තිබූ වැඩිම රන් පදක්කම් ප්‍රමාණය වූයේ පසුගිය ක්‍රීඩා උලෙළේදී (41 වැනි අදියර) රන් පදක්කම් 77ක් දිනාගැනීමයි. එමෙන්ම මෙහි ඇති වඩාත් සුවිශේෂී කාරණය වන්නේ දිස්ත්‍රික් මට්ටමින් 1967 වසරේදී පළමු වරට ආරම්භ කළ මෙම ක්‍රීඩා උලෙළ සංකල්පය, 1988 වසරේදී පළාත් මට්ටමින් පැවැත්වීමට වෙනස් කිරීමත් සමග එතෙක් මෙතෙක් මෙහි එකම හිමිකරුවා බස්නාහිර පළාත වීමය.
රන් පදක්කම් 33ක් දිනූ දකුණු පළාත මෙවර අනුශූරතාව දිනාගත් අතර, පසුගිය වසරේ අනුශූරතාව දිනූ මධ්‍යම පළාත් කණ්ඩායමට මෙවර තෙවැනි ස්ථානන් සෑහීමට පත්වීමට සිදුවිය. ඉකුත් වසරේදී රන් පදක්කම් 47ක් දිනූ මධ්‍යම පළාතට මෙවර දිනාගැනීමට හැකිවූයේ රන් පදක්කම් 28ක් පමණි.
මෙවර ක්‍රීඩා උලෙළේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස දුර පැනීමේ ක්‍රීඩක නැගෙනහිර පළාතේ මොහොමඩ් මික්රාන් සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර 800 ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි සම්මාන දිනාගත්තාය.
ඊට අමතරව ක්‍රීඩා උලෙළේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ කේ.එස්.එල්. වික්‍රමසිංහ (තත්. 10.6) සම්මාන දිනාගත් අතර, වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ඌව පළාතේ එස්.එල්. විදානදුරුගේ (තත්. 11.9) සම්මාන දිනාගත්තාය. මෙවර ක්‍රීඩා උලෙළේදී මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා වාර්තා හතරක් අලුත් විය.
මෙවර ක්‍රීඩා උලෙළේ සුවිශේෂී දක්ෂතා දැක්වූවන් ඇගයීමක් වශයෙන් වේගවත්ම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට ටී.වී.එස්. (T.V.S.) ආයතනය මගින් යතුරුපැදි හා එම අනුග්‍රාහක ආයතනය මගින්ම නව තරග වාර්තා පිහිටුවූ සෑම ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවකටම රුපියල් ලක්ෂය බැගින් ටී.වී.එස්. යතුරුපැදි මිලදී ගැනීමට වවුචර් පිරිනැමුවේය. මීට අමතරව සෑම ඉසව්වකම දක්ෂතම ක්‍රීඩයාට හා ක්‍රීඩිකාවට ජාතික ක්‍රීඩා අරමුදල මගින් රුපියල් ලක්ෂ 02 බැගින් ප්රදානය කළේය.
ඊයේ දිනයේ වැඩි අවධානයක් දිනාගත් මධ්‍යම පළාතේ ලයනල් සමරජීව මීටර 5000 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත්විය. තරගය අවසන් කිරීම සඳහා ඔහු විනාඩි 14.40.30ක දක්ෂතාවක් දැක්වීය. ලයනල් මීට පෙර මීටර 10,000 ඉසව්වේද රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර, එම ඉසව් ද්විත්වයේම රන් පදක්කම ඔහු නොකඩවා දිනූ 06 වැනි අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
ජය සංකේත ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරී, විපක්ෂ නායක ආර්. සම්බන්දන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සංජීව ධර්මසේන / ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු (යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගණයේ සිට)