ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මෙම මස අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශකයෙකු ලෙසින් සිය රාජකාරිය භාරගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (10දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
"චමින්ද වාස් මේ මස අගදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශකයෙකු ලෙස අප හා එක් වෙනවා. ඔහු මෙම මස අවසානයේදී සිය රාජකාරිය භාර ගනියි. අපිට විශ්වාසයි මෙමගින් අපේ වේගපන්දු දක්ෂතා වැඩිදියුණු වෙයි කියලා" යැයි සුමතිපාල මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ, දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීම හා ඉදිරියට රැගෙන ඒම වාස්ගේ තනතුරට අදාළ කාර්යයන් බවයි.