එළඹෙන ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට ඇත්තේ කෙටි කාලසීමාවක් බැවින් නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැකගැනීමට ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කළ බව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි. පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් හෙට (30දා) ආරම්භ වන විස්සයි20 තරගාවලිය පිළිබඳව ඊයේ (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාලිංග මෙම අදහස් දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ නවකයන් සංචිතයට ඇතුළත් කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගත් හොඳ තීරණයක් බවයි.
"ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉන්නවා. මම හිතන්නේ එය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර අපට තිබෙන්නේ තරග දහයක් පමණයි. අපි දැනගෙන ඉන්න ඕන එළියෙ ඉන්න නවකයන්ගේ දක්ෂතා, ඔවුන් ජාත්‍යන්තර තරගවල කොහොම ක්‍රීඩා කරයිද කියලා. එමනිසා මේ තමයි අත්හදාබැලීම්වලට තිබෙන හොඳම තරගාවලිය"
විස්සයි20 සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මාලිංගගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ ඔවුන්ගේ (චන්දිමාල්/තිරිමාන්න) දක්ෂතා දැක තිබෙන බැවින් නවකයන්ගේ දක්ෂතා මැනබැලීමට මේ තීරණය ගත් බවයි.
"කණ්ඩායම් නායකයා නිසා මට තේරීම්වලට සහභාගිවෙන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පසු ගත් තීරණ ගැන ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න අවස්ථාවක් තිබෙනවා. නමුත් නායයෙකු විදියට මටත් තේරීම් කමිටුවටත් අරමුණක් තිබෙනවා අපි කොතැනටද යා යුත්තේ කියලා. ලෝක කුසලාන තරගාවලියට තියෙන්නේ මාස 06ක පමණ කාලයක්. එමනිසා හිටපු ක්‍රීඩකයන්ගේ දක්ෂතා අලුතින් බලන්න හේතුවක් නැහැ. නමුත් නවක ක්‍රීඩකයන්ව බලාගත යුතුයි"
පාකිස්තානයට එරෙහිව නිමාවූ එක්දින තරගාවලියේදී මාලිංග ඇතුළු ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ අසාර්ථකවීම සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියේය.
"මගේ දක්ෂතා අතරට එන්න නැවතත් මම උත්සාහ කරනවා. ඉදිරියේදී නායකත්වයටත්, තේරීම් කමිටුවටත් හිතුණොත් හොඳයි කියලා එක්දින කණ්ඩායමට එක්වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ලොකු බලාපොරොත්තු නැහැ, ලැබුණු තරගයක් ක්‍රීඩාකිරීමේ බලාපොරොත්තුව පමණයි තිබෙන්නේ. ඒ වගේම මම හිතනවා මට වඩා හොඳ පන්දු යවන්නෝ ලංකාවේ ඇති කියලා. දැනටත් මට වඩා හොඳ පන්දු යවන්නෝ ලංකාවේ ඉන්න පුළුවන්. ඔවුන් එක්ක කරට කර තරග කරන්න ආසයි"