නවවැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ගුජරාට් ලයන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් සමත්ව සිටියි.
තරග 56කින් සමන්විත වූ මෙම තරගාවලියේ මූලිය වටයේ තරග ඊයේ (22දා) අවසන් වූ අතර, එම තරගයන්ගෙන් අනතුරුව එළිදැක්වූ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 04 වෙන්කරගැනීමට ඉහත කණ්ඩායම් සමත්විය.
ඒ අනුව පසුගිය වර ශූර මුම්බායි ඉන්දියන්, දිල්ලි ඩෙයාඩෙවිල්ස්, රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් හා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම් වලට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
බැංගලෝර් කඩුලු 06 ක ජයක් ලබයි
දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය කර රායිපූර්හි ඊයේ (22දා) රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
ශහීඩ් වීර් නරායන් සිං ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි. ඉනිම ගොඩනැගීමේ වගකීම ගත් එකම පිතිකරුවා වූ කුයින්ටන් ඩි කොක් රැස්කළ ලකුණු 60 හා ක්‍රිස් මොරිස් අංක 07 පිතිකරු ලෙස පැමිණ රැස්කළ වේගවත් ලකුණු 27 පමණක් ඉස්මතු වූ අතර, වෙනත් කිසිඳු පිතිකරුවෙකුට තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙන යාමට නොහැකි විය. බැංගලෝර් වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 03 ක් බිඳහෙදීමට සමත්විය.
ලකුණු 139ක පහසු ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම තරගයේ 18.1 වැනි පන්දුවාරයේදී කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. බැංගලොර් වෙත ජයග්‍රාහී මාවත එළිපෙහෙළි කරදුන් නායක විරාට් කෝලි නොදැවී ලකුණු 54 ක් ඉනිමට එක්කළ අතර, ඔහුට සහය දැක්වූ ලෝකේෂ් රාහුල් ලකුණු 38 ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව