ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය කඩා ඉවත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති අතර, එම කඩා ඉවත් කළ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ (Indoor Cricket) යකඩ, යකඩ බාර් හා අබලි ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 03 කට වඩා වැඩි බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම යකඩ හා අබලි ද්‍රව්‍ය කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකරමින් ඉතා සුළු මුදලකට විකුණා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අයිතිය පවතිනුයේ ගාල්ල මහ නගර සභාවටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නගර සභාවෙන් ක්‍රීඩාංගණය බද්දට ගෙන දකුණු පළාත් ක්‍රිකට් සංගමය මූලික කරගනිමින් එහි පරිපාලන කටයුතු මෙහෙයවෙයි.
කෙසේ වෙතත් මෙවැනි යකඩ හා අබලි ද්‍රව්‍ය ටෙන්ඩර් කිරීමට දකුණු පළාත් ක්‍රිකට් සංගමයට කිසිදු අයිතියක් නොමැත. එය සිදුකළ යුත්තේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව මෙම යකඩ හා අබලි ද්‍රව්‍ය විකිණීම පිටුපස දූෂණ සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. 2006 වසරේ සිට මේ දක්වා ගාල්ල ක්‍රිකට් ක්රීඩාගංණයේ මුල්‍ය පරිපාලනය පිළිබඳව කිසිදු විගණනයක් සිදුකර නොමැති අතර, මෙම ගනුදෙනුවේදීද එය පොදු කාරණයක් වී තිබේ.
සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව මෙවැනි යකඩ හා අබලි ද්‍රව්‍ය විකුණන්නේ නම් ටෙන්ඩර් කැඳවා ක්‍රිකට් ආයතනයෙන් එහි වටිනාකම තක්සේරු කර අදාළ ක්‍රම‘වේද අනුගමනය කළ යුතුය.
නමුත් මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයේ වහලට දමා තිබූ යකඩ, තහඩු, යූ බාර් හා අබලි ද්‍රව්‍ය විකුණුවේ කෙලෙසද විකුණා දැමීමේ පදනම කුමක්ද, කවුරුන් විසින් එහි වටිනාකම තක්සේරු කළේද විකිණීම සඳහා ලබාගත් තක්සේරු වාර්තා යනාදිය කිසිවක් නොමැතිව මෙම ගනුදෙනුව සිදුකිරීම ක්‍රිකට් ආයතනය පාර්ශ්වයෙන් බලන කලද එතරම් හිතකර නොවේ. අනෙක් කරුණ වන්නේ මෙම අබලි ද්‍රව්‍ය ඉතා අඩු මුදලකට විකුණා ඇති බව වාර්තාවීමයි. එවැනි මුදලකට මෙම අබලි ද්‍රව්‍ය විකුණුවේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වීමෙන් යැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.
මේ සිද්ධිය පිටුපස ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමය. එසේ නොකර මෙවැනි වංචා දූෂණ සඳහා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය මුණිවත රකින්නේ නම් එය මෙවැනි දූෂණ සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුබලදීමක්ද වෙයි.
විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා
- ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ ලේකම් - මොහාන් ද සිල්වා
"ඔය ගැටලුව මතුවුණේ මහින්ද - රිච්මන්ඩ් බිග්මැච් එකට පෙරයි. මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇවිත් මහින්ද විද්‍යාලයේ හට් එක ගැසීමට එතැන තිබෙන යකඩ හා අබලි ද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කරදෙන ලෙස ඉල්ලුවා. පොලීසියත් එම ඉල්ලීම කළා. ඉතින් අප ඉක්මනින් ඒ සඳහා කටයුතු කළයුතු නිසා අපි එය ඉක්මනින් අවසන් කරන්න කිව්වා.
ඉන්පසුව ඒ පුද්ගලයන් අපේ ඉංජිනේරු මහත්මයට කතා කළාම ඔහු පවසා තිබෙනවා කොටේෂන් 02 ක් අරන් විකුණන්න කියලා. හැබැයි ඉංජිනේරු මහත්මයා එහෙම කියන්නෙ නැහැ, එතැන යකඩ හා අබලි ද්‍රව්‍ය ලොකු ප්‍රමාණයක් තිබුණා නම්. දැන් ගාල්ලේ ස්ථාන කළමනාකරුගේ (Venue manager) වෙනස්වීමක් සිදුවුණා. අපි හදන්න හරි දේ කරලා සිස්ටම් එකක් හදන්න. හැබැයි මම පිළිගන්නවා ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමයි මේ යකඩ හා අබලි ද්‍රව්‍ය විකුණලා තියෙන්නේ. නමුත් ඉංජිනේරු මහත්වරුන්ගේ අනුමැතිය අරන් විකුණුවේ. ටෙන්ඩර් දාන්න ගියානම් බිග්මැච් ගහන්න වෙන්නේ නැහැ.
අනික අපි මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරනවා. එහිදී අපිට සොයා බැලිය හැකියි එතැන කොතරම් යකඩ හා අබලි ද්‍රව්‍ය තිබුණාද, එහි වටිනාකම කොපමණද කියලා. වරදක් වෙලා තිබෙනවා නම් ඒවාට විරුද්ධව අපි පියවර ගන්නවා. නැත්නම් අපිටත් අවනම්බුවක්. අපි ආවේ නිවැරදි දේ කරන්නනේ. ඒ නිසා පැහැදිලිව කිව යුතුයි සාක්ෂි තිබෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. අපේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න අපිට එය ප්‍රයෝජනවත් වේවි."