සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනට අද (18දා) තරගය නතරකරන විට කඩුලු 03 ක් දැවී ලකුණු 178 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කෞෂාල් සිල්වා ලකුණු 80 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 ක් රැස්කරගෙන සිටිති. කෞෂාල් තම ටෙස්ට් දිවියේ 08 වැනි ටෙස්ට් අර්ධ ශතක අද රැස් කළේය.
දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනාට ගොඩනැගීමට හැකිවූයේ ලකුණු 30 ක් පමණි. ලකුණු 21 ක් රැස්කරගෙන සිටි දිමුත්, වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කෞෂාල් සමගින් ලකුණු 112 ක සබඳතාවක් ගොඩනැගූ කුමාර් සංගක්කාර දැවී ගියේය. මුලු ලකුණු 142 දී වහබ් රියාස්ගේම පන්දුවක් හමුවේ යුනිස් ඛාන් වෙතට උඩපන්දුවක් ලබාදී ඔහු දැවී යනවිට ලකුණු 50 රැස්කරගෙන සිටියේය. සංගක්කාර ඊයේ වාර්තාකළේ තම 52 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.
ලොව වැඩිම ද්විත්ව ශතක (12) සංඛ්‍යාවක් වාර්තාකර ඇති ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අබිබවා යාමට ද්විත්ව ශතක 11 ක් වාර්තා කර ඇති කුමාර් සංගක්කාර එම කඩඉමට ළඟාවීමට ඉතිරිව ඇත්තේ තවත් එක් ද්විත්ව ශතකයක් පමණි. ඒ හේතුවෙන් මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර සිට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානය කුමාර් සංගක්කාර වෙත යොමුවී තිබුණි. කෙසේ නමුත් සංගාගේ දැවීයාමත් සමග එම බලාපොරොත්තු තවදුරටත් පසුපසට දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සිදුවිය.
මෙම තරගයේ පළමු දිනය වූ ඊයේ (17දා) දිනයේ ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවාරයක් හෝ ක්‍රීඩාකිරීමට නොහැකිවිය. ඊයේ දිනයේදීද තරගය නියමිත වේලාවට ආරම්භකිරීමට නොහැකිවූ අතර තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පෙ.ව. 11.30 සිදුවීමෙන් අනතුරුව මධ්‍යහ්න 12.00 තරගය ආරම්භ කළේය.
ඡායාරූප ශාන්ත රත්නායක
ශ්‍රී ලංකාව පළමු ඉනිම (පන්දුවාර 64)
දිමුත් කරුණාරත්න 21 (පන්දු 42, 4x1)
කෞෂාල් සිල්වා 80* (පන්දු 197, 4x12)
කුමාර් සංගක්කාර 50 (පන්දු 106, 4x2, 6x1)
ළහිරු තිරිමාන්න 08 (පන්දු 17, 4x1)
ඇන්ජලෝ මැතිව්ස් 10* (පන්දු 26, 4x1)
පාකිස්තානය පන්දු යැවීම
වහබ් රියාස් 2/51 (පන්දුවාර 15)
මොහොමඩ් හෆීස් 1/24 (පන්දුවාර 7)