විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාර ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (31දා) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගයට සමස්ත ලෝකයේම අවධානය යොමුවී තිබේ.
කොදෙව් ක්‍රීඩකයන් රැසක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) සහභාගි වීමෙන් ඉන්දීය තණතීරු පිළිබඳව හොඳ දැනුමකින් පසුවීම ඉන්දියාවට විශාල අභියෝගයක් බවට පත්ව තිබේ.
ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල්, තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්රාවෝ සහ නායක ඩැරන් සැමී අයි.පී.එල්. තරගාවලියේ සුපිරි තරු බවට පත්ව සිටිති. ඒ හේතුවෙන් සත්කාරත්වයේ වාසිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ලැබේද යන්න සැකසහිතය.
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ඉන්දීය ප්‍රවේගකාරී පිතිකරු විරාට් කෝලි ලකුණු අතරට පැමිණීම සමස්ත ඉන්දියාවම උද්දාමයට පත්කර තිබේ. දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් කෙරෙහිද ඉන්දීය කණ්ඩායම දැඩි බලාපොරොත්තු තබා සිටියි.
ඉන්දීය ප්‍රවේගකාරී පිතිකරු යුවරාජ් සිං, ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී ආබාධයකට ලක්වීම නිසා තරගාවලියෙන් ඉවත්වීම දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. යුවරාජ්ගේ ස්ථානයට මනීෂ් පාණ්ඩේ සංචිතයට කැඳවා සිටියි.
සත්කාර ඉන්දීය කණ්ඩායම පළමු වටයේ පළමු තරගයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්ව දැඩි පසුබෑමකට ලක්ව අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් හිස එසවීය. ඉන්දීය කණ්ඩායම පළමු වටයේ තරග තුනක් ජය ලබා දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.
දකුණු අප්‍රිකාවේදී 2007 වසරේ පැවැති පළමු විස්සයි20 ලෝක කුසලානයේ ශූරයන් වූ ඉන්දියාව, අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වේ. බංග්ලාදේශයේදී 2014 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීමෙන් ඉන්දියාවට අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
බටහිර ඉන්දීය කොදෙව්වන් විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව වටයට පැමිණි සිවුවැනි අවස්ථාව මෙය වේ. කොදෙව්වෝ මීට පෙර 2009, 2012 සහ 2014 යන තරගාවලි තුනේදී අවසන් පූර්ව වටයට පැමිණි අතර, 2012 වසරේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ශූරයන් බවට පත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරමින් එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව පරාජය කරමින් එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. කොදෙව් කණ්ඩායම පළමු වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්විය. ඉන්දියාව ප්‍රසාද ලකුණු 127 ක් ලබා විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් ප්‍රසාද ලකුණු 120 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි.