වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සඳහා සහ වසරේ එක්දින ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාරගේ නම නිර්දේශ වී ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එල්.ජී. සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන වාර්ෂික ක්‍රිකට් සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩක නාම ඊයේ (03) නිකුත් කළ අතර, අජන්ත මෙන්ඩිස් වසරේ හොඳම 20-20 දක්ෂතාව සඳහාත්, කුමාර ධර්මසේන වසරේ විනිසුරු සම්මානය සඳහාත් නිර්දේශ වී ඇත.
වසරේ අයි.සී.සී. ජීවගුණයෙන් සපිරි ක්‍රීඩක සම්මානය සඳහා මහේල ජයවර්ධනගේ නම නිර්දේශ වී තිබේ. ඔවුන් හැරෙන්නට වෙනත් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සම්මාන සඳහා නිර්දේශ වී නැත.
පිටපිටම දෙවතාවක් වසරේ ජනතාවගේ ක්‍රීඩක සම්මානය දිනාගත් කුමාර සංගක්කාර මේ වසරේදී එම සම්මානය සඳහා නිර්දේශ නොවූ අතර, ඒ සඳහා පැවැති ඡන්ද විමසුමෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සම්මාන ලැබීය. මෙම සම්මානය සඳහා මයිකල් ක්ලාක්, ඇලෙස්ටයාර් කුක්, විරාට් කෝලි හා ඒ.බී. ඩිවිලියස්ගේ නම් නිර්දේශ වී තිබිණි.
2013 නිර්දේශ නාමයන්ට සමගාමීව වසරේ ලෝක ටෙස්ට් හා එක්දින කණ්ඩායමද නම් කළ අතර, වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමට එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ඇතුළත් වී නොමැත. එම කණ්ඩායමේ නායකත්වය ඇලෙස්ටයාර් කුක්ට හිමිව තිබේ.
වසරේ ලෝක එක්දින කණ්ඩායමේ නායකත්වයට ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දොනි නම්කර ඇති අතර, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්කාර හා ලසිත් මාලිංග එම සංචිතයට එක්ව ඇත. මෙවර සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 10 වැනි වතාවටය. පසුගිය වසරේ එය කොළඹදී පැවැත්විණි.