බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11දා) රාත්‍රියේ අවසන් වූ සිවුවැනි තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර ලකුණු 46 ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම තරගය මෙරට වේලාවෙන් අද (12දා) අලුයම අවසන් විය.
මෙම ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාව තරගාවලියේ තරග 02ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් තරගය බැගින් ජයගෙන සිටියි.
ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක්හි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 289ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 47.4 ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 252 ක් පමණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 06 ක් දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්විය. ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඩේවිඩ් වෝනර් සිය 06 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තාකරමින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.