දෙගිඩියාවෙන් පසුවූ සමස්ත ඉන්දියාවේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ විරාට් කෝලිගේ අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මොහාලිහි ඊයේ (27දා) පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර කඩුලු 06 ක ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
සමස්ත ලෝක ක්‍රිකට් පිටියේම අවධානය යොමුවී තිබූ මෙම තරගයෙන් යම් හෙයකින් ඉන්දීය කණ්ඩායම පරාජය වූවානම් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. ඒ අනුව ඉන්දීය කණ්ඩායම, නවසීලන්තය සමගින් දෙවැනි කාණ්ඩයෙන් (Group 2) අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත් අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 161 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 19.1 වැනි පන්දුවාරයේදී කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
තමන් විශිෂ්ට පිතිකරුවෙකු බව නැවත ප්‍රදර්ශනය කළ, ඉන්දීය ජයග්‍රහණයේ එකම අසහාය නියමුවා වූ විරාට් කෝලි, පන්දු 51කදී නොදැවී ලකුණු 82 ක් රැස්කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත්විය.ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් උස්මාන් කවජා (26) හා ආරොන් ෆින්ච් (43) පළමු කඩුල්ලට ලකුණු 54 ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඒ සඳහා ඔවුන් වැයකළේ පන්දු 26 ක් පමණි. කෙසේ නමුත් කවජා දැවී යාමත් සමග වේගයෙන් ගොඩනැගුණු ඉනිම මන්දගාමී වූ අතර, ග්ලෙන් මැක්ස්වෙල්ගේ (31) ක්‍රියාත්මකවීම ඉදිරියේ ඔස්ට්‍රේලියානු ඉනිම මුලු ලකුණු 160/6 ක් දක්වා රැගෙන යා හැකිවිය. තරගයේ වීරායා ලෙස විරාට් කෝලි සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව