ක්‍රීඩා පනත උල්ලංඝනය කළ ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානීන්ට වැඩ වරදින ලකුණු
මෙරට ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් ක්‍රීඩා සංගම්වල තනතුරුවලට පත් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ යන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 'අද'ට පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු දරන පුද්ගලයන් වසර ගණනාවක් අඛණ්ඩව විගණන වාර්තා ලබානොදී අත්තනෝමතිකව කටයුතු කරන පසුබිමක ක්‍රීඩා අමාත්‍යාංශයේවත් ලියාපදිංචි වී නොමැති තුන්ප්‍රයාම සංගමය (Triathlon) යනුවෙන් සංගමයක් පිහිටුවා ගනිමින් හේමසිරි ප්‍රනාන්දු මහතා නීති විරෝධීව එහි සභාපති ධුරයට පත්වීම අනුමත කළ නොහැකි බවද ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ජූඩෝ සංගමයේ නව සහකාර ලේකම් ලෙස පත්වීමත්, ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා හෑන්ඩ්බෝල් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වීමත් මේ අනුව ක්‍රීඩා පනතට පටහැනි ක්‍රියාවක් වී තිබේ. කෙසේ වෙතත් මෙවන් පසුබිමක ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පිළිබඳ සාකච්ඡාවක් අද (04දා) පැවත්වුණද නිලවරණය යළිත් කල් යනු ඇතැයිද වාර්තා වේ.
ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසි අනුව යම්කිසි ක්‍රීඩා සංගමයක් ඔවුනට අදාළ ධුර කාලය තුළ විගණන වාර්තා ලබාදී නොමැති නම් ඔවුනට (විගණන වාර්තා ලබා නොදුන් සංගමයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික) යළිත් කිසිදු සංගමයක තනතුරු සඳහා පත්වීමේ හැකියාව නොමැත. ඒ අනුව ඉදිරියේදී වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ යන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඔවුන්ව එම සංගම්වලින් ඉවත් කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා නීතිය අනුව නිලවරණයක් පැවැත්වීමට ප්‍රථම ඒ පිළිබඳව මසකට පෙර සාමාජික සංගම් දැනුවත් කළ යුතු අතර, මෙම මස තුළ නිලවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වුවහොත් ලබන මස තුළ එය සිදුකිරීමට නොහැකි වනුයේ අප්‍රේල් මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ අරභයා සූදානම් වීමට ඇති බැවිණි. එමෙන්ම මාර්තු මස තුළ නිලවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වාතාවරණයක් ඇත්තේ එවිට එම වර්ෂයට අදාළව ගිණුම් වාර්තා සහ විගණන වාර්තා ඉදිරිපත් කළ යුතු හෙයිනි.
කෙසේ වෙතත් මෙම මස තුළ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමට බලධාරීන් අපොහොසත් වුවහොත් යළිත් මෙම වසර තුළදී නිලවරණය පැවැත්වීමේ ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
අප මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ව කිහිපවරක්ම සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

