2019 වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලානය සඳහා වෙනස්කම් සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නිර්මාණය කරගැනීම තමන්ගේ මූලික අරමුණ බව ක්‍රීඩක දක්ෂතා කළමනාකරු සයිමන් විලිස් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක දක්ෂතා කළමනාකරු (High Performance Manager) ලෙස පත්කළ සයිමන් විලිස් සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (01දා) පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට ප්‍රධාන අංශ තුනක් යටතේ වසර තුනක කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට කටයුතු කරන බවයි.
වසර විසිතුනක අත්දැකීම් උපයෝගී කරගනිමින් ක්‍රීඩකයන් හඳුනාගැනීම, ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම හා ක්‍රීඩකයන් සූදානම් කිරීම යන අංශ තුන මූලික කරගනිමින් එය ක්‍රියාත්මක කිරීමට ඔහු අපේක්ෂා කරයි.
මෙහිදී ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන්, ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමුකරමින් තමා වෙත පැවරී ඇති අභියෝග ජයගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සයිමන් විලිස් මහතා,
"මට මෙවැනි තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 23ක් ක්‍රීඩකයෙක් හා පුහුණුකරුවෙක් ලෙස ලැබූ අන්තර්ජාතික අත්දැකීම් මෙහිදී උපයෝගී කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අංශ තුනක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මට වැදගත් භූමිකාවක් පවරා තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් ක්‍රීඩකයන් අතර මෙන්ම පුහුණුකරුවන් සමගත් බෙදාගැනීමට. පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් හා නායක ඇන්ජලෝ මැතිව්ස් සමග සාකච්ඡා කර විදේශීය තරග සඳහා උසස් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට අපේක්ෂා කරනවා" යැයි පවසා සිටියේය.
ක්‍රීඩකයන් හඳුනා ගැනීම
ක්‍රීඩකයන් හඳුනාගැනීම යටතේ ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනාගැනීමටත් විලිස් මහතා විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිතය. එමෙන්ම තරුණ ක්‍රීඩකයන්ගේ දුර්වලතා හඳුනාගෙන, ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමටත්, විවිධ පරිසර තත්ත්ව යටතේ ක්‍රීඩාකළ හැකි ක්‍රීඩකයන් හඳුනාගැනීමත් යන අභියෝගවලට මුහුණදීමට ඔහු අපේක්ෂා කරයි. ඒ සඳහා වැදගත්ම කාරණය වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි සේවය කරන පුහුණුකරුවන් (සියලුම අංශවල) සංවර්ධනය කිරීම බවත්, ඒ සඳහා විලිස් මහතා ඔහුටම ආවේණික සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අනාවරණය කළේය.
ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම
විවිධ දක්ෂතා ඇති ක්‍රීඩකයන් (Multi Skilled Players) හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කිරීමට විලිස් මහතාගේ අවධානය යොමුව තිබේ. පුහුණුකරුවන්, භෞතක චිකිත්සක හා අභ්‍යාසක යනාදී සියලු ක්ෂේත්‍ර වර්ධනය කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. මේ සියලු කාරණා ඒකරාශි කරමින් තනි පුද්ගල ක්‍රීඩක දක්ෂතා මෙන්ම කණ්ඩායම් දක්ෂතා වර්ධනය කෙරෙහිද අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා පුහුණුකරුවන්ගේ සහාය තුළින් ක්‍රීඩකයන්ගේ තත්ත්වය උසස් කිරීමට ඔහු බලාපොරොත්තු වේ.
තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් යනු කුමක්දැයි අවබෝධ කරදීම, ඔවුන්ගේ සහජ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම හා විවිධ පරිසර තත්ත්ව යටතේ ක්‍රීඩා කිරීමේ පළපුරුද්ද ලබාදීම යනාදී දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ.
ක්‍රීඩකයන් සූදානම් කිරීම
ඉහත සියලු තත්ත්වයන් හඳුනාගනිමින් හා වර්ධනය කරමින් 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානය ඉලක්ක කර ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නිර්මාණය කර ගැනීමට සයිමන් විලිස් මහතා අපේක්ෂා කරයි. එහිදී තරුණ ක්‍රීඩකයන්, විදෙස් රටවල දක්ෂතා දක්වන මට්ටමට සූදානම් කිරීම, අභියෝගයක් ලෙස සලකා දැල තුළ පුහුණුවීම් මෙන්ම අනෙකුත් පුහුණුවීම්ද විධිමත් කිරීමට ඔහුගේ අවධානය යොමුව තිබේ. එමෙන්ම පීඩනය දරා ක්‍රීඩා කරන අයුරු ජාත්‍යන්තර මට්ටමෙන් පන්දු යවන්නන්ට හා පිතිකරුවන්ට තාක්ෂණිකව දැනුම ලබාදී එම ක්‍රීඩකයන් පිළිබඳව නිරන්තරව ගවේෂණ සිදුකිරීමද ඔහුගේ සැලසුමට අදාළය.
මෙම මාධ්‍ය හමුවේදී වසර විසිතුනක අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව මාධ්‍ය‘වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විලිස් මහතා පවසා සිටියේ, තමන් දීර්ඝ කාලයක් පුහුණුකරුවෙකු ලෙස (Level 4) ලද අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාවේ වෙනස්කම් සහිත ක්‍රීඩකයන් හඳුනාගැනීමට බලාපොරොත්තු වන බවයි. එහිදී තමන් පෝල් ෆාබ්‍රේස්, ග්රැහැම් ෆෝඩ් යන පුහුණුකරුවන් සමග එංගලන්තයේ කෙන්ට්හිදී ලද අත්දැකීම් උපයෝගී කර ගැනීමටත් මුරලිදරන්, මාලිංග වැනි වෙනස්කම් සහිත ක්‍රීඩකයන් සමග කටයුතු කර ලද පළපුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුව සඳහා දායක කරගැනීමටත් අපේක්ෂා කරන බවද ඔහු පවසා සිටියේය.
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ හඳුනාගත හැකි ගැටලුවක් ස්ථිර වශයෙන් කිව නොහැකි බවත්, තමාට පැවරී ඇති භූමිකාව අනුව උසස් තත්ත්වයේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට බිහිකිරීමේ අභියෝගය ඇති බවත් ඒ සඳහා මෙරට ක්‍රිකට් ක්ෂේත්‍ර‘යේ සියලු අංශ දායක කරගැනීමට කටයුතු කරන බවත් විලිස් මහතා පවසා සිටියේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ