රටේ සමස්ත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිත්‍යාගශීලී විය යුතු බවත්, ක්‍රීඩාවෙන් කාර්යශූර විනයගරුක පුද්ගලයන් බිහි කළ හැකි බවත්, ක්‍රීඩාවේදී ජයග්‍රහණයට පමණක් අපේක්ෂා නොකර ජය පරාජය සතුටින් භාරගත යුතු බවත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා 27 වැනි ජාතික යෞවන ක්‍රිඩා උළෙලට එක්වෙමින් පැවසීය.
27 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද (13දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, මෙවර තරගාවලිය අවුරුදු 20 පහළ බාලක බාලිකා හා අවුරුදු 20 ඉහළ බාලක බාලිකා ලෙස තරග ඉසව් පැවැත්වේ.
තරගාවලියේ සමාරම්භක දේශනය පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,
"මෙම වසරේ එංගලන්තයේ පැවති රග්බි ලෝක කුසලාන අවසාන මහා තරගයේදී නවසීලන්තය ජයගත් අතර, එහිදී සොනී බිල් විලියම්ස් ක්‍රීඩකයාට ලැබුණු රන් පදක්කම ඔහු තරගය නැරඹීමට පැමිණි කුඩා දරුවකුට තිළිණ කළා. එම සිදුවීමෙන් නවසීලන්තයට ඔහු විශාල කීර්තියක් ගෙන දුන්නා. ඒ වගේ අපේ ක්‍රීඩකයනුත් ක්‍රීඩාවේදී පරිත්‍යාගශීලීව කටයුතු කළ යුතුයි.
ජාතික යෞවන ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයට විත් දස්කම් පෙන්වා ජාත්‍යන්තරයට ගොස් රටට කීර්තියක් ගෙන දීමට අවස්ථාව නිර්මාණය කර දී තිබෙනවා. එනිසා රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම අවස්ථාව නිසි පරිදි කළමනාකරණය කරගනිමින් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට යොදා ගත යුතුයි".
27 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය එළැඹෙන 15 වැනි දින විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා පිටියේ ඉසව් 20 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර, තරගාවලිය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක වලින් කණ්ඩායම් ඉදිරිපත් කර තිබීම සුවිශේෂිය
තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගගේ, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ