ලොව ධනවතුන් අතර පාපන්දු ක්‍රීඩකයන්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. ධනවත් ක්‍රීඩකයෝ බොහෝවිට තම වත්කම් අන් අයට හෙළි නොකරති. එහෙත් පාපන්දු ක්‍රීඩකයන් අතර ධනවත්ම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසින් සැලකෙන රියල් මැඩ්රිඩ් සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගියදා මැඩ්රිඩ් නුවර තමා පදිංචිව සිටින සුපිරි මන්දිරයේ දොරටු ක්‍රීඩා ඡායාරූප ශිල්පියෙකු සඳහා විවර කළ අතර, තම නිවෙසේ තතු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමටද අවසර දුන්නේය.
රොනාල්ඩෝ පදිංචිව සිටින පවුම් මිලියන 4.8 ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 107 ක් පමණ වටිනා මන්දිරය පිහිටා ඇත්තේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර මොන්ක්ලෝආ දිස්ත්‍රික්කයෙන් කිලෝමීටර් 10 ක් පමණ බටහිර වන්නට ඇති ලා ෆින්කා නගරයේය. සුපිරි ධනවතුන් වෙසෙන මෙම ප්‍රදේශයේ ජනප්‍රිය ක්‍රීඩකයන් සහ නළු නිළියන් රැසක් ජීවත් වන අතර රියල් කණ්ඩායමේ තවත් සුපිරි තරුවක් වන ගැරත් බේල් මෙන්ම, ප්‍රංශයේ හිටපු පාපන්දු තරුවක් වන සිනෙඩින් සිඩෑන්ද රොනාල්ඩෝගේ අසල්වැසියෝය.
රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් බදු ගෙවීමෙන් පසුව සතියකට පවුම් 288,000 ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි හයහමාරක පමණ වැටුපක් ලබන ක්‍රිස්ටියානෝ, ඉහත වීඩියෝවෙන් තම නිදන කාමරය පමණක් නොව, සිය පුතු කනිෂ්ඨ ක්රිස්ටියානෝට තම අඩි පාරේ ගමන් කිරීම සඳහා මිදුලේ කොනක තනා ඇති කුඩා ප්‍රමාණයේ පාපන්දු ක්‍රීඩාපිටියද තම රසිකයන්ට දැකගැනීමට සලස්වා ඇත.
වර්ග අඩි 8,600 ක විශාලත්වයෙන් යුතු මෙම තනි මහලේ නිවෙසට ඇතුළු වන රොනාල්ඩෝ වීඩියෝ ශිල්පියාව පළමුව රැගෙන යන්නේ සිය නිදන කාමරය වෙතය. මෙම නිවෙස නිදන කාමර 8 කින්, කුසලාන සහ ජය සංකේත තබන කාමරයකින් මෙන්ම, කුඩා පුතු සඳහා වන සෙල්ලම් කාමරයකින්ද සමන්විතය. වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු පළමුවෙන්ම විස්තර කරන්නේ තම නිදන කාමරය පිළිබඳවය.
මෙම වීඩියෝවේ සිය නිදන කාමරය ගැන අදහස් දක්වන පෘතුගාල නායක රොනාල්ඩෝ පවසන්නේ, ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීම නම් සුවපහසු නින්දක් ලබාගැනීම අතිශය වැදගත් බවයි.
"මම දවසින් භාගයක්ම ගත කරන්නේ මේ කාමරයේ. මොකද හොඳින් දක්ෂතා දැක්වීමට නම් හොඳින් විවේක ගත යුතුයි" යැයි ඔහු පවසයි.
අනතුරුව නිවෙසේ සාලය වෙත කැමරාකරුවාව රැගෙන යන රොනාල්ඩෝ පසුව කෑම කාමරය වෙත ගොස් එහි වැදගත්කම පහදා දෙයි.
රොනාල්ඩෝගේ සාර්ථකත්වයේ තවත් රහසක් වන පෝෂණය ලබාගන්නා කෑම කාමරය මැද ඇත්තේ අති සුඛෝපභෝගී පෙනුමක් ඇති විශාල ප්‍රමාණයේ වට මේසයකි.
"මගේ ජීවිතයේ දෙවැනි හෝ තෙවැනි වැදගත්ම තැන තමයි මම කෑම කන මේ කාමරය. මේ කාමරයේ ඉඳන් තමයි මම දිවා සහ රාත්‍රී ආහාරය ගන්නේ. මොකද මම හැම වෙලාවෙම ගෙදර උයන කෑම කන්න කැමතියි. මගේ කෝකියා මට පුදුම හිතෙන කෑම උයලා දෙනවා" රොනාල්ඩෝ පවසයි.
අවසන් වශයෙන් රොනාල්ඩෝ කැමරාකරුවාව රැගෙන යන්නේ නිවෙසේ ගෙවත්ත වෙතය. එහි පැත්තක පිහිනුම් තටාකයක් සහ උණුසුම් නාන බේසමක් ඇති අතර, තවත් පැත්තක ඇත්තේ ඔහුගේ පුතු වෙනුවෙන්ම ඉදිකළ කුඩා පාපන්දු පිටියයි.
"මෙතැන තමයි ක්‍රිස්ටියානෝ (පුතා) ෆුට්බෝල් ගහන්නේ. නත්තල ළඟ ළඟම එන නිසා මම පැත්තකින් නත්තල් ගහකුත් තිබ්බා. මම හැමෝටම සුබ නත්තලක් සහ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මොකද හැමෝටම ඒක ගොඩාක් වැදගත්" රොනාල්ඩෝ පවසයි. පසුගිය අගෝස්තු මාසයේදී රොනාල්ඩෝ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් එපාට්මන්ට් නිවෙසක් මිලට ගත් අතර, එහි වටිනාකම පවුම් මිලියන 11.8 ක් හෙවත් රුපියල් කෝටි 260 ක් බව නිව්යෝක් පෝස්ට් පුවත්පත පසුගියදා වාර්තා කළේය. උපන් රට වන පෘතුගාලයේද රොනාල්ඩෝට අයත් සුපිරි මන්දර කිහිපයක්ම ඇත.
රොනාල්ඩෝගේ ගෙදර බුදු පිළිමය බිම
මෙම හෙළිදරව්වේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය සුඛෝපභෝගී නිවසේ ඉදිරිපසට වන්නට බුදු පිළිමයක් තබා තිබෙන අයුරු දැකගත හැකිවිය. කෙසේ වෙතත් ඔහු එම පිළිමය තබා තිබුණේ බිමය. පිළිමය ඉදිරිපස මල් කළඹක්ද වෙයි. වර්තමානය වන විට බටහිර රටවල නිවස අලංකරණය කිරීම සඳහා බුදු පිළිම යොදාගැනීම සමාන්‍ය කරුණකි. එහෙත් මේ පිළිබඳව අවධානය යොමු කිරීම එරට, මෙරට දෙරටේම වගකිවයුත්තන්ගේ රාජකාරියකි.
ජොශුවා නේතන් කරුණාරත්න (ඩේලිමේල් ඇසුරෙනි)