ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් සඳහා (සේවක සේවිකාවන් 200කට) ජංගම දුරකථන ලබාදීම සඳහා පෞද්ගලික ආයතනයක් ලබාදුන් රුපියල් ලක්ෂ 50 ක මුදලකින් රුපියල් ලක්ෂ 30 ක් ක්‍රිකට් විධායක කමිටුවට සම්බන්ධ නිලධාරීන්ට ජංගම දුරකථන ලබාගැනීමට වැයකිරීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙහිදී පළමුව විධායක කමිටුවට සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකුට රුපියල් එක්ලක්ෂ විසිදහසක (120,000) වටිනාකමකින් යුත් ජංගම දුරකථන ලබාදීමට පියවර ගැනීමට නියමිතව තිබුණද, පසුව එය පුද්ගලයන් 30 දෙනෙකු දක්වා දීර්ඝ වී තිබේ.කෙසේවෙතත් මේ සඳහා රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැයකිරීමට නියමිත බවද ක්‍රිකට් ආයතනයේ අනෙකුත් සේවකයන්ට ඉතුරු ලක්ෂ 20න් හෝ ජංගම දුරකථන ලබාදීමට පියවර ගෙන නැතැයිද එහි සේවකයෝ මැසිවිලි නඟති.
එමෙන්ම මෙහිදී අනෙකුත් කමිටුවලට සම්බන්ධ නිලධාරීන් (Committee Member) 19 දෙනෙකු සඳහාද ජංගම දුරකථන ලබාදීමට රුපියල් දසලක්ෂ තිස්පන්දහස් දෙසිය හතළිහයි ශත හැට පහක (රු.1,035,240.65) මුදලක් වැය කරමින් ජංගම දුරකථනද මිලදී ගැනීමට යෝජනා කර තිබේ. එම එක් ජංගම දුරකථනයක වටිනාකම රුපියල් පනස් හතර දහස් හාරසිය අසූ හයයි ශත තිස්පහක (රු.54,486.35) කි.
මේ අනුව බලන කල ජංගම දුරකථන 49 ක් මිලදී ගැනීම සඳහා (විධායක කමිටු සාමාජිකයන්ට හා කමිටු සාමාජිකයන්ට) රුපියල් හතළිස් හය ලක්ෂ තිස්පන්දහස් දෙසිය හතළිහයි ශත හැට පහක (රු.4,635,240.65) මුදලක් වැය කිරීමට නියමිතය. මෙහිදී ක්‍රිකට් ආයතනයේ සුළු සේවකයන් ඇතුළුව අනෙකුත් සේවකයන් සඳහා ජංගම දුරකථන හෝ ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රතිපාදන හෝ ලබාදීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැත.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, මෙරට ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන ආයතනයක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින අනුග්‍රාහක ගිවිසුම යටතේ රුපියල් මිලියන 04ක අනුග්‍රාහකත්වයක් නිල වශයෙන් ජංගම දුරකථන ලබාගැනීමට ලැබී ඇති බවයි.
එමෙන්ම විධායක කමිටුවට පත්වූ නිලධාරීන් 34 දෙනෙකු හා අනෙකුත් කමිටුවලට පත්වූ නිලධාරීන් 20 දෙනෙකු සඳහා ඉන් ජංගම දුරකථන ලබාදීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙහිදී රුපියල් මිලියන තුනක මුදලක් විධායක කමිටු හා අනෙකුත් කමිටුවල නිලධාරීන් සඳහා ජංගම දුරකථන ලබාගැනීමටද, ස්ථිර සේවකයන් සඳහා රුපියල් මිලියනයක මුදලක්ද වැය කිරීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු සඳහන් කර සිටියේ අදාළ ජංගම දුරකථන මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් නොවන බවත්, එම මුදල පෞද්ගලික සමාගමකින් ලැබුණු බවත් ඉන් විධායක කමිටුවට සම්බන්ධ නිලධාරීන්ට රුපියල් මිලියන 03 ක් වියදම් කිරීම, පරිපාලනය විසින් ගනු ලැබූ තීන්දුවක් බවත්ය.
කෙසේවෙතත් මීට පෙරත් හිටපු ක්‍රිකට් පරිපාලනය මෙවැනිම අයුරින් ජංගම දුරකථන විධායක කමිටු නිලධාරීන්ට හා අනෙකුත් කමිටුවල නිලධාරීන්ට ලබාදුන්නද ඔවුන් සේවය අතහැර යන විටදී එම ජංගම දුරකථන කිසිවක් නැවත ක්‍රිකට් ආයතනයට ලබාදී නැතැයිද වාර්තාවේ. ඒ නිසා මෙවරද නිලධාරීන්ට ලොකු හැන්දෙන් බෙදාගෙන සේවකයන්ට කන් හැන්දෙන් බෙදීමට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
විධායක කමිටුවට හා අනෙකුත් කමිටුවලට දුරකථන ලබාදීම පරිපාලන තීන්දුවක්
- ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 05 ක මුදලක් පෞද්ගලික ආයතනයකින් ජංගම දුරකථන මිලදී ගන්න ලබාදීලා තිබෙනවා. ඒක සියලුම ස්වේච්ඡාවෙන් වැඩ කරන අනුකමිටු, විනිසුරු කමිටු, තරග කමිටු, විධායක කමිටු යන සියලුම කමිටුවලට ලබාදෙන්න අපි පරිපාලන තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ මුදල් ක්‍රිකට් ආයතනයෙන් වියදම් වන මුදල් නොවෙයි. ඒක අනුග්‍රාහකයෙක් විසින් දෙන ලද මුදලක්. දැනට විධායක කමිටුවටත්, විනිසුරු කමිටුවටත්, තරග කමිටුවටත්, ඒ වගේම ස්වේච්ඡාවෙන් වැඩකරන ගොඩක් කමිටුවලටත් කාර්යාලයේ වැඩ කරන කිහිපදෙනෙකුටත් ලබාදෙන්න කටයුතු කරනවා. අපි ඒ පිළිබඳව තවම අවසන් තීන්දුවක් ගෙන නැහැ"