ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය හා අනෙකුත් ක්ෂේත්රවල පවතින ගැටලු විසඳා එය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා ශ්‍රී ලංකා රජය අතර සිදු වූ සාකච්ඡාවලින් පසුව මෙම කමිටුව පත්කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේද අනුමැතිය හිමිව තිබේ.ක්‍රිකට් ආයතනයේ දැනට ක්‍රියාත්මක ආයතන ව්‍යුහය අනුව වැරදි සිදුවීම සඳහා මෙන්ම, වැරදි කිරිම සඳහා අවශ්‍ය තරම් ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා රජයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේද අදහස වී තිබේ.
ඒ අනුව ක්‍රිකට් ආයතනයට කෙටිකාලීනව සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කෙරෙන අතර, එම කමිටුව ක්‍රිකට් ආයතනයට හා ශ්‍රී ලංකා ආණ්ඩුවට වගකීමට නියමිතය. පවරන කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම කමිටුවේ වගකීම වෙයි. එහිදී ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳවද අවධානය යොමුවෙයි.
මේ සියලු කරුණු අලලා වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, එම වාර්තාවට අයි.සී.සී. අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ක්‍රියාවට නංවනු ලැබේ. ඉන් අනතුරුව කමිටුවේ කාලසීමාවද අවසන් වීමට නියමිතය. කමිටුවට සාමාජිකයන් පත්කිරීමට අවශ්‍ය නම් නිර්දේශ කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා රජය එක්ව සිදුකරන අතර, එම නම් සඳහා අයි.සී.සී. අනුමැතිය ලබාගැනීමෙන් පසුව කමිටුව පත්වෙයි.
කමිටුව පත්කෙරෙන කෙටිකාලය තුළ පවා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් කමිටුවට පූර්ණ බලතල පැවරීමට නියමිතය. මෙම කමිටුව ඉතාමත්ම ඉක්මනින් පත්කිරීමටද නියමිතය.