ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය 13 වැනි වරටත් සංවිධානය කරන ජාතික කඹ ඇදීමේ තරගාවලිය එළැඹෙන 27 දා මහරගම, නාවින්න මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්වෙන අතර, කාන්තා කිලෝග්‍රෑම් 560 බර පංතිය යටතේද, පිරිමි කිලෝග්‍රෑම් 640 බර පංතිය යටතේද තරග පැවැත්වීමට නියමිතය.
මේ සඳහා සහභාගි වන කණ්ඩායම්වල සියලු තරගකරුවන් අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් විය යුතු අතර, ජාත්‍යන්තර තරග නීතිරීති අනුව තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා සමාජවලට සහභාගි විය හැකි අතර, ජයග්‍රහණය කරන සියලු කණ්ඩායම් සඳහා කුසලාන හා සහතිකපත් පිරිනැමීමට කඹ ඇදීමේ සංගමයේ සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
මේ සඳහා කොන්දේසි කිහිපයක් ඇතුළත්ව ඇති අතර, විනිසුරු තීරණය අවසන් තිරණය ලෙස පිළිගන්නා බව ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම යම් විරෝධතාවක් වෙතොත් එය අදාළ තරගයට පැයකට පෙර රු. 1500 ක මුදලක් සහිතව තරග සංවිධායකට ඉදිරිපත් කළ යුතු බවත්, යම් හෙයකින් ක්‍රීඩා සමාජයක් කණ්ඩායමක් තරග සඳහා ප්‍රමාද වී පැමිණෙන්නේ නම් ඔවුන්ට තරගාවලිය සඳහා ක්‍රීඩා කළ නොහැකි බවද සංවිධායකවරු පැවසූහ.
තරගාවලියේ ඇතුළත්වීමේ ගාස්තුව රු. 1000 ක් වන අතර, තරග සඳහා ක්‍රීඩා සමාජවලින් ඉදිරිපත් කරනු ලබන කණ්ඩායම් අයදුම්පත් හෙට (16දා) දිනට පෙර ක්‍රිස්ටි ප්‍රනාන්දු තරග සංවිධායක, 38/9 පුබුදු මාවත, මත්තේගොඩ ලිපිනයට හෝ chnistyf838@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන මෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
කණ්ඩායම් සඳහා කුසපත් ඇදීම මේ මස 20 වැනිදා සිදුකරන අතර, ඊට අයදුම්පත් යොමුකළ කණ්ඩායම්වල පුහුණුකරු හෝ කණ්ඩායම් නායකයා ස්ථිරවම සහභාගි විය යුතු බවද කඹ ඇදීමේ සම්මේලනය පැවසීය.
එමෙන්ම එදිනට සියලු කණ්ඩායම් සඳහා තරග කාලසටහන් නිකුත් කරන අතර, කුසපත් ඇදීමට සහභාගි නොවන කණ්ඩායම්වල නාමලේඛනයක් කුසපත් සංගමයේ නිලධාරීන් විසින් ලබාදෙනු ඇති බවද සංගමය වැඩිදුරටත් පැවසීය.