ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය අද (16දා) ගාල්ලේ දී ආරම්භ වෙයි. එක්දින තරගාවලියේ දී නොසිතූ පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියේ දී තමන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරග වදිනු ඇත.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙද්දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග කලකට පසු ටෙස්ට් කණ්ඩායමට එක්වීමට නියමිත අතර, සුරංග ලක්මාල් ද බොහෝවිට ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ. අවසන් ටෙස්ට් තරගයේ දක්ෂතාව මත ධම්මික ප්‍රසාද්ට ස්ථානයක් හිමිවුවත් ලක්මාල්ගේ වේගය නිසා ගාල්ලේ මන්දගාමී තණතිල්ලේ ලක්මාල් ඉදිරියට ඒමට ඉඩ ඇත.
පන්දු යවන්නන් අතරින් මෙන්ඩිස් හෝ දිල්රුවන් පෙරේරා යන දෙදෙනාගෙන් කෙනෙකු තෝරා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වෙයි. දිල්රුවන් කණ්ඩායමට පැමිණියහොත් වැදගත් වන්නේ ඔහු පසුපෙළ ශක්තිමත් කිරීමය. අනෙක් අතින් ඔහු එක්දින තරගවලදී මෙන්ඩිස් හමුවේ දකුණු අප්‍රිකාව හොඳින් ක්‍රීඩා කරනු දැක ගත හැකි විය. මේ නිසා අද කණ්ඩායමට එක්වීමට සුදුස්සා වී සිටින්නේ දිල්රුවන්ය.
ඒ.බී. ඩිවිලියර්ස්ගේ ආබාධය නිසා ඔහු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා නොකරයි. එහෙත් පිතිකරුවෙකු ලෙස ඔහු ක්‍රීඩා කරනු ඇත. මේ නිසා බොහෝ විට ඔහු අංක 04 දක්වා උසස්වීමට ඉඩ තිබේ. එය භයානක තත්ත්වයකි. අනෙක් කරුණ වන්නේ මේ නිසා ඩි කොක් කණ්ඩායමට පැමිණීමයි. එය එතරම් සුබ කටයුත්තක් නොවන්නේ ඔහු ශ්‍රී ලංකාව හමුවේ හොඳින් පහර දීමයි. මේ නිසා ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනාට වැඩි බරක් පැටවේ.
ඇල්විරෝ පීටර්සන් හොඳ රිද්මයක නොමැත. මේ නිසා ආරම්භක සම්බන්ධතාව ඉතා ඉක්මනින් බිඳදැමීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකාවට වඩා ඉතා ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව මේ තරගයේ එක් දඟ පන්දු යවන්නෙකු ලෙස පිටියට පැමිණෙයි. තාහීර් හමුවේ ශ්‍රී ලංකාව එක්දින තරගවලදී දැක්වූ විශ්වාස කළ නොහැකි දුර්වලතාව මේ තරගයේදී නම් නැති කර ගත යුතුව තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව තම අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන මහේල ජයවර්ධන මෙහිදී ඉදිරියට පැමිණිය යුතුය. ඔහු තාහීර් හමුවේ දැවීයාම නම් විමතියට කරුණකි. මේ නිසා තාහීර්ගේ බල බිඳීම මහේල බාරගත යුතුය. මහේලගේ ප්‍රියතම පිටියේ දී ඔහුගෙන් ශතකයක් අවශ්‍ය කර තිබේ.
කයිල් ඇබට් ක්‍රීඩා කරයි නම් ශ්‍රී ලංකාව කල්පනා කළ යුතු පන්දු යවන්නා මොහුය. ඔහු ශ්‍රී ලංකාවේ තණතිලිවලට ගැළපෙන ලෙස නිසි එල්ලයෙන් දෝලනයක් සහිතව පන්දු යවන්නෙකි. ඔස්ට්‍රේලියාව හමුවේ 3-0 ක පරාජයක් ලබා ටෙස්ට් පිටියට එන දකුණු අප්‍රිකාවට හෂීම් අම්ලාගේ නායකත්වය කොතරම් දුරට වැදගත්දැයි තීරණය වන්නේ මේ තරගාවලියේදීය.
අම්ලා ගේ පන්දුවට පහරදීමේ හැකියාවට නායකත්වයෙන් හානියක් වෙයි නම් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ එයයි. ශ්‍රී ලංකාවේ දී අවසන් වරට මුහුණ දුන් ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වී සිටියත් මේ දකුණු අප්‍රිකානු පිල අඩු තක්සේරුවකට ලක්කළ නොහැකිය. ඔවුන් එක්දින තරගාවලිය ජයගැනීම එයට සාක්ෂියයි. මේ නිසා තරගය ජයපරාජයෙන් තොරව නිමකරයි නම් ශ්‍රී ලංකාව සාර්ථකය. ජයග්‍රහණයක් යනු එංගලන්තයේ දැක්වූ දස්කම් අහම්බයක් නොවන බව තහවුරු කිරීමකි.