එංගලන්ත වයස 19න් පහළ කණ්ඩායම එංගලන්තයේදී පරාජය කර ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (18දා) සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියේය. ගුවන්තොටුපළේ සිට ඔවුන්ව මහත් හරසරින් ක්‍රිකට් ආයතනය වෙත කැඳවාගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තම සංචාරයේදී යොවුන් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසද, එක්දින තරගාවලිය තරග 3 -0ක් ලෙසද ජයගෙන විශිෂ්ට තරගාවලි නිමාවක් සනිටුහන් කිරීමට සමත් විය.
දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැති අතර, එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසා සිටියේ, එංගලන්තයේදී, එංගලන්ත කණ්ඩායම පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවූ බවයි. නමුත් තමන් ඇතුළු කණ්ඩායම ඒ සඳහා හොඳින් සූදානම් වූ බවත්, නැවත ලංකාවට පැමිණීමේදී කිසිදා නොලැබුණු, ඉහළ පිළිගැනීමක් කණ්ඩායමට ලැබුණු බව පවසා සිටියේය.
"අපි එංගලන්තයට ගිහිල්ලා, ඔවුන්ගේ තණතීරු තුළදීම පරාජය කිරීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේ ජයග්‍රහණයක් ලබාගන්න එක ලෙහෙසි දෙයක් නෙමෙයි. අපි දන්නවා ඒ තරගාවලියට අපි කොහොමද සූදානම් වුණේ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු නොවුණු, කවදාවත් නොලැබුණු ලොකු පිළිගැනීමක් අද අපිට ලැබුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. එංගලන්ත කණ්ඩායම අපිව මානසිකව වට්ටන්න ගොඩක් දේවල් කළා. ඒත් අපේ පුහුණුකරුවන් හා අනෙකුත් අය ඒ සඳහා මුහුණදෙන ආකාරය ගැන අවබෝධයක් ලබාදී තිබූ නිසා, අපට ලොකු ශත්තියක් ලැබුණා ඒ අභියෝගයන්ට මුහුණදෙන්න" යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාද සහභාගි වූ අතර, ඔහු පවසා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සතුටු වියහැකි බවත්, මෙය එහි ආරම්භය බවත්ය.
"අපි කාලයක් තිස්සේ ගොඩක් කථාකරපු දෙයක් තමයි 19න් පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කී දෙනෙක් අපට ජාතික කණ්ඩායමට තෝරගන්න පුළුවන් වෙයිද කියලා. මෙම තරගාවලියේදි අපට ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම හඳුනාගන්න අවස්ථාව ලැබුණා. මේ ඉන්න ළමයි හරි පැත්තට ගේන්න අපට ලොකු කැපකිරීමක් ඉදිරියේදි කරන්න තිබෙනවා. ඒ සඳහා මෙය හොඳ ආරම්භයක්. එහි ප්‍රතිඵල ලබනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අපට සතුටුවෙන්න පුළුවන්" යනුවෙන් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, ජාතික කණ්ඩායම ජයග්‍රහණ කර, දිවයිනට පැමිණෙන ආකාරය හා සමානව යොවුන් කණ්ඩායමද පිළිගැනීමට කටයුතු කළ බවයි. ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලොකු ආයෝජනයක් කර ඇති බවත්, එහි ප්‍රයෝජන මේ වනවිට ලබාගෙන සිටින බවද මෙහිදී අනාවරණය කළේය.
"රටේ අභිමානය රැකගත්තු කණ්ඩායමක් අවේ. එමනිසා අපි උත්සහ කළා ජාතික කණ්ඩායම ලංකාවට එනවා හා සමානව පිළිගන්න. මීට මාස හතරකට පෙර අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලොකු ආයෝජනයක් කරන්න. එහි ප්‍රයෝජන අද ගත්තා. අපි තවම 19න් පහළ ලෝක කුසලානයක් දිනලා නැහැ, එම ගමන් මාර්ගයට අපි යන්න ඕන. මේ ජයග්‍රහණය අපිට ලොකු ශක්තියක් හා ආඩම්බරයක්".
මෙහිදී අවසන් වශයෙන් සභාපතිවරයා පවසා සිටියේ, ජයග්‍රාහී කණ්ඩායම දිරිගැන්වීමක් වශයෙන් කණ්ඩායමට ක්‍රිකට් ආයතනයේ රුපියල් ලක්ෂ දහයක ත්‍යාග මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු