(GRAPHIC) හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ වටය ආරම්භ කරමින් එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අද (30දා) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකම ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) පස්වරුවේ පුහුණු සැසිවලට සහභාගි විය.
එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් ඊයේ (29දා) පළමු මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ, අවසන් මහ තගරයට ආසන්න වී සිටින බවට හැඟීමක් නොමැති බවයි.
"පළමු වටයේදී අපේ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. අපි ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැඩි සටන්කාමී තරගයක නිරත වීමට බලාපොරොත්තු වෙනවා. නවසීලන්තය පරාජය කිරීමට ශක්තිමත්ව තරග කරනවා” යැයි මෝගන් වැඩිදුරටත් පැවසීය.
එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පැවසුවේ, ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ සහභාගි වූ තරග දෙකම ජය ලැබීම සහ එහි තණතීරුව පිළිබඳව ඇති අවබෝධය තම කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ ජය ලැබීමට ඉතාමත් ඉහළ මානසික තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි. නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පුහුණු සැසියට පෙර ඊයේ පස්වරුවේ පැවසුවේ, එංගලන්තය පළමු වටයේ තරග දෙකකට ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ සහභාගි වී තිබීම පීඩනයක් වුවද විස්සයි20 තරගයකදී ඕනෑම දෙයක් විය හැකි බවයි.
"බෝල්ට් සහ සවුති මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තියෙනවා. ඔවුන් ක්‍රීඩා කිරීමට සූදානමින් ඉන්නවා. නමුත් තවම ක්‍රීඩා කරන 11 දෙනා තීරණය කර නෑ. විස්සයි20 තරගවලදී තුන් ඉරියව් ක්‍රීඩකයෝ කණ්ඩායමට ශක්තියක්. අපේ දඟ පන්දු යවන්නෝ මේ දක්වා හොඳින් පන්දු යැව්වා. මේ තරගයේදීත් සියලු අංශවලින් දස්කම් අතරට එන්න හැකියාව අපිට තියෙනවා" යැයි විලියම්සන් පැවසීය.
ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් අතර හෙට (31දා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ඉතාමත් තරගකාරී එකක් වනු ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් විලියම්සන් වැඩිදුරටත් පැවසීය. කොදෙව් දූපත්හිදී 2010 වසරේ පැවැති තෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ එංගලන්තය මෙවර දෙවැනි වරට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2007 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්විය. නවසීලන්ත කණ්ඩායම පළමු වටයේදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බංග්ලාදේශ පරාජය කරමින් අපරාජිතව සිටීම කැපී පෙනේ. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් පරාජය කරමින් පළමු වටයේදී පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.
ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වනවිට නවසීලන්තය ප්‍රසාද ලකුණු 122 ක් ලබා අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේද, එංගලන්තය ප්‍රසාද ලකුණු 115 ක් ලබා පස්වැනි ස්ථානයේද, පසුවෙයි. ඉන්දියාව ප්‍රසාද ලකුණු 127 ක් හිමි කරගනිමින් පෙරමුණේ සිටියි. එංගලන්ත මෙවර තරගාවලියේ ඇෆ්ගනිස්තානයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව දිල්ලි ක්‍රීඩාංගණයේදී තරග දෙකකට සහභාගි වී තිබීම වාසි සහගත වීමට ඉඩ තිබේ.
මෙවර තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට ජෝ රූට් පත්ව සිටියි. ජෝ රූට් පළමු වටයේ තරග හතරේදී ලකුණු 168 ක් රැස්කර තිබේ.නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 125 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දක්වා තිබේ.
එංගලන්ත සංචිතය - ඔයින් මෝගන් (නායක), මොයින් අලී, සෑම් බිලින්ස්, ජෝස් බට්ලර්, ලියම් ඩෝසන්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජොඩන්, ලියම් ප්ලන්කේට්, අඩිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, රීස් ටොප්ලි, ජේම්ස් වින්ස් සහ ඩේවිඩ් විලී
නවසීලන්ත සංචිතය - කේන් විලියම්සන් (නායක), කොරී ඇන්ඩසන්, ට්‍රේන්ට් බෝල්ට්, ග්‍රාන්ට් එළියට්, මාටින් ගප්ටිල්, රෝස් ටේලර්, මිචෙල් මැක්ලෙනහන්, නේතන් මැකලම්, ඇඩම් මිලන්, කොලින් මුන්රෝ, හෙන්රි නිකොල්ස්, ලූක් රොන්කි, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුති