සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර මීර්පූර් ක්‍රීඩාංගණයේ ඊයේ (18දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 79 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය.
බංග්ලාදේශයේ ශෙයා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49.4 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 307 ක් රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 228 ක් පමණි.
තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකර කඩුලු 05 ක් දවාලමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ මුස්තාෆිසුර් රෙහමාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
බංග්ලාදේශය පන්දුවට පහරදීම / ඉන්දියාව පන්දු යැවීම
ඉන්දියාව පන්දුවට පහරදීම / බංග්ලාදේශය පන්දු යැවීම
මෙම තරගයේ විශේෂතා
පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකල මුස්තාෆිසුර් රෙහමාන් (Mustafizur Rahman) කඩුලු 05 ක් (5-50) දවාලූ අතර, පළමු තරගයේදී කඩුලු පහක් දවාලූ දෙවැනි බංග්ලාදේශ පන්දු යවන්නා ඔහු වේ. මීට පෙර ටස්කින් අහමඩ් (5/ 28) පසුගිය වසරේදී (2014) ඉන්දියාවට එරෙහිව පළමු වරට මෙම දස්කම දැක්වීය.
බංග්ලාදේශ ඉනිම (307/10) ඉන්දියාවට එරෙහිව ඔවුන් රැස්කළ ඉහළම ඉනිම වේ. මීට පෙර ඔවුන් ඉන්දියාවට එරෙහිව ලකුණු 296 ක් රැස්කර තිබුණි. බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට එරෙහිව අට වතාවකදී ලකුණු 250 සීමාව පසුකර ඇති අතර, ඉන් තරග හතකදීම ඔවුන් පරාජය වී ඇත.
ඉන්දීය කණ්ඩායම, බංග්ලාදේශය හමුවේ පරාජය වූ සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වේ. 1988 වසරේ සිට දෙරට අතර එක්දින තරග පැවැත්වෙන අතර, මේ දක්වා තරග 30 ක් පවත්වා ඇත. ඉන් එක් තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇති අතර, තරග 25 ක් ඉන්දියාව විසින් ජයගෙන ඇත.
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 79 කින් ජය ලැබීමට එක්දින ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියනේ සිටින කණ්ඩායම් අටෙහි කණ්ඩායමකට එරෙහිව දැක්වූ දෙවැනි වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණය වේ. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2012 වසරේදී ලකුණු 160 ක ජයක් ලැබීම ඔවුන්ගේ හොදම ජයග්‍රහණය වේ.
බංග්ලාදේශ කණ්ඩායම එරටදී නොකඩවා ලැබූ 9 වැනි එක්දින තරග ජයග්‍රහණය මෙය වේ. මේ වනවිට ඔවුන් හමුවේ සිම්බාබ්වේ (5-0), පාකිස්තානය (3-0) හා ඉන්දියාව (මේ දක්වා) පරාජය කර ඇත.