ආසියානු රග්බි ඉතිහාසයේ තම කුළුඳුල් කුසලාන ශූරතාව හිමි කරගැනීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ(20 න් පහළ) රග්බි කණ්ඩායම සමත් විය. ඒ අද (31) මැලේසියාවේ ජොහෝර් බහාරු හිදී නිමාව දුටු ආසියානු කනිෂ්ඨ (20 න් පහළ) රග්බි තරගාවලියේදීය. එහිදී අවසන් තරගයේදී ප්‍රබල දකුණු කොරියාව ලකුණු 38-00 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත්කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමක් ආසියානු රග්බි කුසලාන ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ ආරම්භ වූ තරගාවලිය මෙවර දෙවැනි වරට පැවැත්විණි.
තරගාවලියේ පළමු දිනයේ තමන් සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගැනීමට ශ්‍රීලංකාව සමත් විය. එහිදී පිලිපීනය ලකුණු 22-05 ක් හා තායිලන්තය ලකුණු 31-05 ක් ලෙසින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ජපානය හමුවේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 19-14 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදු විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව අද (31) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් පැවති තරගය ලකුණු 45-05 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී මැලේසියාව ලකුණු 29-14 ක් ලෙසින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ තුවාන් රීසා රෆයිඩීන් උත්සාහක දිනුම් 7 ක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියාගේ වාර්තාව තමන් සතු කරගැනීමට සමත් විය.
ඊට අමතරව නායක කෙවීන් ඩික්සන් සමස්ත ලකුණු 43 ක් (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 9) වාර්තා කරමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.