පිලිපීනය පරාජය කර ආසියානු රග්බි ශූරතාවලියේ (පළමු කාණ්ඩය) ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්වූ අතර ජයග්‍රාහී කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් පෙරේදා (13දා) සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, ජයග්‍රාහී රග්බි කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම රග්බි සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් හා ශ්‍රී ලංකා ඩයලොග් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීහු එක්වූහ. මෙහිදී ජයග්‍රාහී ක්‍රීඩකයන්ට මුදල් ත්‍යාග මෙන්ම සමරු ත්‍යාගද පිරිනැමීය.
උදව් දෙන්න පුළුවන්නම් අපිට මීට වැඩිය කරන්න පුළුවන්
-ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක ෆයිසාල් මරීජා
" මේ ජයග්‍රහණය සඳහා අපිට සහාය දුන් හැමදෙනාටම ස්තුතියි. මේ තරගාවලිය වෙනුවෙන් අපිට සති තුනක පුහුණු සැසියක් තිබුණා. ඒක ඉතාමත්ම අපහසු පුහුණුවක්. ඇතැම් අවස්ථාවලදී අපි පුහුණුකරුගේ තත්ත්වයට යන්නේ නැතිව පුහුණුකරු අපේ තත්ත්වයට ගමු කියලත් කතා වුණා. ඊට පස්සෙ මම කණ්ඩායමට කිව්වේ, නෑ අපි පුහුණුකරුගේ තත්ත්වයට යමු කියලයි.
මේ පුහුණුවේ පළමු සතිය ඉතාමත් අපහසු වුණා. නමුත් දෙවැනි හා තෙවැනි සති අපිට පහසු වුණා. ඒත් එක්කම ඒ සති තුනේදී අපි විවිධ දේ කළා. මෙහිදී මම විශේෂයෙන්ම දෙදෙනෙකුට ස්තුති කරන්න ඕන. විශේෂයෙන්ම මහේලට (මහේල ජයවර්ධන). මහේල ඇවිල්ලා අපිට අභිප්‍රේරණ වැඩසටහනක් කළා. ඒක මට, පුහුණුකරුවන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ගොඩක් උදව් වුණා. එයා ජාත්‍යන්තර මට්ටමේදී කොහොමද අභිප්‍රේරණය වුණේ. තරගයට යන්න ඉස්සෙල්ලා එයා කොහොමද සූදානම් වුණේ. ඒ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා. තරගයට ඉස්සෙල්ලත් අපි කතාවුණේ එයා මොනවද කිවුවේ කියන දේවල්. අපි ඒවත් එක්ක තමයි තරගයට ගියේ.
ඒ වගේම මම ස්තුති කරන්න කැමතියි ක්‍රීඩා ඇමතිට. ඔහුට අපි ගැන විශ්වාසයක් තිබ්බා. ඒක තමයි අපිත් එක්ක කතා කළේ. මම ක්‍රීඩකයෝ ගැන කතා කරනවානම්, ඒ අය සති තුනක් හොඳට මහන්සි වුණා. ඒ අයගේ අම්මලාට ස්තුති කරනවා. සමහර ක්‍රීඩකයන් උදේ අටට ඇවිත් ආයෙත් යන්නේ රෑ නමයට. ඒ අයගේ පෙම්වතියන්ට, භාර්යාවන්ට මම ස්තුති කරනවා. මේ සති තුන අමාරු වෙන්න ඇති. කොහොම හරි බැනුම් අහගෙන අපිට සහාය දුන්න ඔබලටත් ස්තුතියි.
මම 2003 සිට ක්‍රීඩා කළා. එතකොට මට අවුරුදු 17යි. මම පළමුවෙන්ම ක්‍රීඩා කරපු තරගයට මගේ මස්සිනාත් ක්‍රීඩා කළා. එහිදී මම උත්සාහක දිනුමක් තිබ්බා. මම එදා මැච් එක ගැහුවට පස්සේ එයා (මස්සිනා) ආයෙත් රග්බි ගැහුවේ නෑ. එහෙමම විශ්‍රාම ගත්තා.
ඒ කාලෙ ක්‍රීඩකයන් දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් තමයි සමස්ත කණ්ඩායමම ආරක්ෂා වුණේ. දැන් එහෙම නෑ. මුළු සංචිතයම හොඳයි. අපිට සමහර විට කණ්ඩායම තෝරාගන්නත් අමාරු වුණා. දැන් ඒ වගේ තරගයක් තියෙනවා. ඒක ඉස්සරහට හොඳයි.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව ඉදිරියට හොඳ වෙයි කියලා මම හිතනවා. අනෙක් එක තමයි අපිට දකුණු අප්‍රිකාව, නවසීලන්තය වගේ රටක පුහුණුවීම් දෙන්න පුළුවන් නම්, අපිට දක්ෂතාව තියෙනවා. උදව් දෙන්න පුළුවන්නම් අපිට මීට වැඩිය කරන්න පුළුවන්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හොඳ සහායක් ලැබිලා ක්‍රීඩකයෝ හැමදෙනාම හොඳට වැඩ කළොත් අපිට ආසියාවේ අංක එක දෙක වගේ තැනට යන්න පුළුවන්."
ජනපති, අගමැති රග්බි ක්‍රීඩාව වෙනුවෙන් සියලු සහාය දෙනවා
- සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක
" අපේ ක්‍රීඩකයන් ලබාගත් මෙම ජයග්‍රහණය මම අගය කරනවා. මේ කොල්ලන් අපිට ලොකු ගෞරවයක් ගෙනාවා. ඩයලොග් ආයතනයට හා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන්ටත් මේ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩකයන් පිටියේ දක්වන දක්ෂතාවට නිලධාරීන්ගේ අභිප්‍රේරණයට අවශ්‍ය වෙනවා. අපි දැන් ලෝකයේ 38 වැනි ස්ථානයේ ඉන්නේ. ඒක ලොකු ළඟාකර ගැනීමක්.
මට අවස්ථාවක් ලැබුණා මේ අය පිටරට යන්න කලින් කතා කරන්න. එතකොට අපගේ නායකතුමා මට ප්‍රකාශ කළ වචන ටික හොඳට මතකයි. අපිට අභියෝගයකට තියෙන්නේ පිලිපීනය විතරයි කියලා කිව්වා. ඒ විශ්වාසය අනුව තමයි ගිහිල්ලා මේ ක්‍රීඩකයෝ මේ ගෞරවය ගෙනාවේ. අපගේ දකුණු අප්‍රිකානු ප්රහුණුකරුත් හොඳ සහායක් දුන්නා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය සියලුම සහාය දෙනවා. රග්බි ක්‍රීඩාව පාසල් තුළ ඉතාමත් ජනප්‍රියයි. මේ ක්‍රීඩාව ගමටත් යා යුතුයි. ක්‍රිකට් මෙන්ම මේ ක්‍රීඩකයන්ට හොඳ දක්ෂතාවක් තිබෙනවා. අපි දක්ෂ රග්බි ක්‍රීඩකයන්ට කණ්ඩායමට එන්න අවස්ථාව ලබාදිය යුතුයි.
කණ්ඩායම නිදහස් ලෙස තේරීම සම්බන්ධයෙන් මම තේරීම් කමිටුවට ස්තුතිවන්ත වෙනවා. හැම ක්‍රීඩාවකම පරිපාලනය ස්වාධීන විය යුතුයි. ක්‍රීඩා අමාත්‍යාංශයට මේ සඳහා බලපෑම් කරන්න අවශ්‍ය නෑ. සමහර අවස්ථාවලදී ගැටලු එනවා. අපි හැමෝම මහත්වරු ලෙස මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ගැටලු අවම කරගෙන ක්‍රීඩාවේ උන්තිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි."
සියලුම ගෞරවය ක්‍රීඩකයන්ටයි
- ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න
" රග්බි ඉතාමත් අපහසු ක්‍රීඩාවක්. පසුගිය අවුරුදු පහේදී ශ්‍රී ලංකාව කළ දක්ෂතාවල සියලුම ගෞරවය යා යුත්තේ ක්‍රීඩකයන්ටයි. ඔවුන් ගොඩක් දේවල් කැප කළා. නායක මරීජා ශ්‍රී ලංකාව නියෝජනය කරන සෑමවිටම හොඳ දක්ෂතා දැක්වුවා. හොංකොං, ජපානය, කොරියාව වගේ රටවල් පරාජය කරන්න අපි ඇත්ත වශයෙන්ම අපේ පුහුණුවීම් ගැන අවධානය යොමු කරන්න ඕන. රජය හා ක්‍රීඩා අමාත්‍යවරයා නැතිව අපට ඉදිරියට යන්න බෑ.
ශ්‍රී ලංකාවට තවමත් විද්‍යාත්මක පුහුණුවීමේ මධ්‍යස්ථානයක් නෑ. මේ අවස්ථාවේදී ඒක අපිට ලොකු අවශ්‍යතාවක්. ලෝකයේ හොඳම කණ්ඩායම් 40 ඇතුළට පැමිණීම විශිෂ්ට දක්ෂතාවක්.
අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් 100% ක්ම සිය රග්බි ක්‍රීඩාව ආරම්භ කර තිබෙන්නේ කොළඹින් පිටයි. කොළඹින් පිටතට ගිහින් දක්ෂ ක්‍රීඩකයන් කොළඹට ගෙනත් ඔවුන් සංවර්ධනය කිරීමට අපිට හොඳ වැඩසටහනක් තියෙනවා.
අපි පෘතුගාලය හා ස්විට්සර්ලන්තය සමග ඉදිරියේදී තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ සඳහා කාලසටහන් ලබාගැනීමට නොහැකි වුණොත් ජර්මනිය ගැන බලනවා. ඊළඟ වසරේදී සති දෙකක කාලයකට හොංකොං කණ්ඩායමට අපි ශ්‍රී ලංකාවේ පුහුණුවක් සඳහා ආරාධනා කරලා තියෙන්නේ. අපිට අවුරුදු හතරක සැලැස්මක් හදන්න කියලා ජොහාන් ටේලර්ට (පුහුණුකරු) කිව්වා."
ඡායාරූප ඉසුරු පෙරේරා