තායිලන්තයේදී ආරම්භ වීමට නියමිත ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (27දා) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකාව මෙවර 'බී' කාණ්ඩයෙන් තරග වදින අතර මැලේසියාව, බෘෘනායි, ජපානය හා ඇෆ්ගනිස්තානය සමග මූලික වටයේදී තරග කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයක් අද (26දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති අතර, ඊට දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර ඇතුළු එහි නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව අගෝස්තු මස 01 වැනිදා ඇෆ්ගනිස්තානය සමගින්ද, 02 වැනිදා ජපානය සමගින්ද, 03 වැනිදා මැලේසියාව සමගින්ද 04 වැනිදා බෘෘනායි රාජ්‍යය සමගින්ද තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 12 දෙනෙකු නම් කර ඇති අතර, එහි නායකත්වය ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා නායිකාව වන ගයනි දිසානායකට හිමිව තිබේ. ශ්‍රී ලංකා පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය කටයුතු කරයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු