රග පහකින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ මේ දක්වා පැවැති තරග තුනම පරාජයවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ ගෞරවය රැකගැනීම සහ ආත්ම විශ්වාසය ගොඩනගාගැනීම සඳහා සටනක් දියත් කිරීම පමණි. එහෙයින් කොල්කටාහි අද (13දා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය ජයගැනීම වැදගත් මෙන්ම, එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය මෙන්ම ආත්ම විශ්වාසයද තව තවත් බිඳවැටීම වැළැක්විය නොහැකිය.
තුන්වැනි එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා එක්දින සංචිතය වෙනස් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළ අතර, ඒ අනුව කුමාර් සංගක්කාර සහ ධම්මික ප්‍රසාද් විවේක ගන්වා ඇති අතර, උපුල් තරංගට සහ සුරාජ් රන්දිව්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත. ඒ වෙනුවෙන් බ.ඉ. කොදෙව් “ඒ” කණ්ඩායම සමගින් පැවැති තරගාවලියේදී ලකුණු අතර සිටි දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න කණ්ඩායමට ඇතුළත්කර ඇත. ඔවුන් දෙදෙනාටම අමතරව ශමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා ඇත.
පළමු තරග ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් නොලැබීම තරගාවලියේ පරාජයට ප්‍රබලම හේතුව විය. එමෙන්ම අනිවාර්ය පන්දුවාරවල දී සිදුකළ අත්හදා බැලීම්ද අසාර්ථකවීම තරගාවලියේ පරාජයට බලපෑ තවත් හේතුවකි. කෙසේ වෙතත් උපුල් තරංග මෙන්ම, කුසල් ජනිත් ද මේ දක්වා සාර්ථක නොවු බැවින් ආරම්භක පිතිකරුගේ ස්ථානය සඳහා මහේල ජයවර්ධන අත්හදා බැලිය හැකිය.
මහේල වසර ගණනාවක් තිස්සේ ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබෙනතුරු බලා හිඳියි. අවස්ථා කිහිපයකදී මහේල ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කර ඇති අතර, එහිදී සාර්ථකවීමට ඔහුට හැකිවිය. එහෙයින් අත්හදා බැලීමක් ලෙසින් ආරම්භක පිතිකරු ලෙසින් මහේල යොදාගත හැකිය. මහේලද ඉන්දියාවේදී මේ බව ප්‍රකාශ කළ අතර, ඔහු කීවේ අවසන් තරග කිහිපයේදී හෝ තමන්ට ඒ අවස්ථාව තේරීම් කමිටුව ලබාදේ නම් උපරිමය ඉටුකිරීමට සූදානම් බවයි.
කුමාර් සංගක්කාර කණ්ඩායමේ නොමැති බැවින් ඔහුගේ ස්ථානයට තිරිමාන්න හෝ චන්දිමාල් යොදාගත හැකිය. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම අංක තුන ස්ථානය ක්‍රීඩා කරමින් සාර්ථක වු පිතිකරුවන්ය. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලියේ දී මෙම යොවුන් ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කණ්ඩායමට විශාල සේවයක් ලබාගත හැකි බැවින් ඔවුන්ට අවස්ථාවක් ලබාදී ආත්ම විශ්වාසය ගොඩනැගීමට කටයුතු කිරීම වැදගත්ය.
විශේෂයෙන් චන්දිමාල් සිය එක්දින දිවියේ මේ දක්වා වාර්තා කර ඇති ශතක දෙකම වාර්තාකර ඇත්තේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමෙනි. තවද තිරිමාන්න අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරන්නේ නම් චන්දිමාල්ට අංක හතර ස්ථානය ලබාදිය හැකිය. චන්දිමාල් මේ දක්වා වාර්තාකර ඇති අර්ධ ශතක 11 න් 10ක්ම වාර්තාකර ඇත්තේ අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමෙනි. අංක 5 ස්ථානයට මැතිව්ස්ද, අංක 6 සඳහා අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් ප්‍රියන්ජන් ද යොදාගත හැකිය.අද තරගයේදී චතුරංග සහ ළහිරුගේ ස්ථාන සඳහා ශමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් යොදාගැනීමට වැඩි අවස්ථාවක් පවතියි.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් තණතීරුවද පිතිකරුවන්ට හිතකර තණතීරුවක් ලෙසින් ප්රකටය. එබැවින් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ නම් අවම වශයෙන් ලකුණු 280 ක් හෝ රැස්කර ගැනීමට උත්සාහ කළ යුතුය. කෙසේ වෙතත් මීට පෙර ඊඩ්න් ගාඩ්න් තණතීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 ඉක්මවා රැස්කළද එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට අපොහොසත්විය. ඊඩ්න් ගාඩ්න් තණතීරුවේ තරග වාර්තාවලට අනුව අවසන් තරග කිහිපයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම වැඩි අවස්ථා ගණනකදී ජයග්‍රහණය වාර්තාකර ඇත. කෙසේ වෙතත් දෙවැනිවරට පන්දුවට පහරදුන්නද මෙම තණතීරුවේ ලකුණු පසුපස හඹායෑම අපහසු නැත.
අවසන් තරග දෙකට නම් කළ ඉන්දීය කණ්ඩායමෙන් ශිකර් දවාන්, රවීන්ද්‍ර ජඩේජා හා ඉශාන්ත් ශර්මා විවේක ගන්වා තිබේ. මේ ක්‍රීඩකයන් තිදෙනාම ඉන්දියාව වෙනුවෙන් උපරිම රිද්මයේ පසුවු ක්‍රීඩකයෝ වෙති. ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි රෝහිත් ශර්මා නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ. පළමු තරග තුනේදී ඉන්දීය කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම ඉටුකළ රිද්දිමාන් සහා වෙනුවට රොබින් උතප්පා කණ්ඩායමට කැඳවා තිබේ.
කෙසේ වෙතත් කෝලිට සහ රයිනාට මේ දක්වා දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිනොවූ අතර, අද තරගයේ දී ඔවුන් දෙදෙනා පිතිකරණ ලැයිස්තුවේ ඉදිරියෙන් පැමිණීමට වැඩි ඉඩක් පවතියි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.1.30ට ආරම්භවීමට නියමිතය.
ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), අජින්ක්‍යා රහානේ, රෝහිත් ශර්මා, අම්බති රයිදු, සුරේෂ් රයිනා, රොබින් උතප්පා, ආක්ෂාර් පටේල්, කරන් ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදෙව්, දවාල් කුල්කර්නි, ස්ටුවර්ට් බිනී, විනේ කුමාර්, කේඩාර් ජාදේව්
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා, ළහිරු ගමගේ, කුසල් පෙරේරා, ශාමින්ද එරංග, අජන්ත මෙන්ඩිස්