ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (04දා) නිමාව දුටු පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ජයග්‍රහණයත් සමග එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 196ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියනු පිතිකරුවෝ තරගයේ 43 වැනි පන්දුවාරයේදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වූහ.
නායක ඩේවිඩ් වෝනර්ගේ හා ජෝර්ජ් බේලිගේ ඉවසිලිවන්ත පිතිකරණය හමුවේ යළිත් වරක් අසාර්ථකවීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට මෙම තරගයේද සිදුවූ අතර, ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී ශතකයක් රැස්කළ පළමු ඔස්ට්‍රේලියානු පිතිකරුවා බවට පත්වෙමින් ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් විය. මීට පෙර 1992 වසරේදී හිටපු ඔස්ට්‍රේලියානු නායක මාක් ටේලර් (94) ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලැබූ ඔස්ට්‍රේලියානුවා බවට පත්ව සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 196ක පහසු ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවන්ට එය ළඟා කරගැනීම පහසු නොකළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 5.5කදී ලකුණු 25ක් පමණක් ලබාදී ඔස්ට්‍රේලියානු ඉදිරිපෙළ කඩුලු 02ක් දවාගනිමින් ඔස්ට්‍රේලියාව අසීරු අඩියකට ඇඳ දැමුවේය. එහිදී මැතිව් වේඩ් (03) හා උස්මාන් කවජා (06) දවා ගැනීමට ඩිල්රුවන්ගේ දඟපන්දුවට හැකිවිය.
එහෙත් උපමහාද්වීපික තණ තීරුවල සිය අත්දැකීම් මනාව උපයෝගී කරගත් ජෝර්ජ් බේලි හා නායක ඩේවිඩ් වෝනර් තෙවැනි කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් පවත්වමින් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය ඉක්මන් කළහ. මෙහිදී ජෝර්ජ් බේලි ලකුණු 44ක් ලබා සිටියදී, ඩිල්රුවන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර, පසුව බේලි එම දැවීයාම තෙවැනි විනිසුරුගෙන් විමසා සිටියද, එය දැවී යාමක් ලෙස තෙවැනි විනිසුරුද සනිටුහන් කළේය.
නායක ඩේවිඩ් වෝනර් ලකුණු 106ක් ලැබූ අතර, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. එම ශතකයකත් සමග වෝනර්ගේ පෞද්ගලික එක්දින ශතක සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගියේය. ඉනිම අවසාන වනවිට ජේම්ස් ෆෝක්නර් හා ජෝන් හැස්ටින්ග්ස් ලකුණු 08 බැගින් ලබාගෙන ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා මෙහෙයවූහ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40.2කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 195ක් පමණි.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්