විස්සයි -20 ලෝක ශූරතාව දිනූ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08දා) පස්වරු 3.00 ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය. රතු පළස මගින් පිළිගත් ශ්‍රී ලංකා කණ්ඩායම රථ පෙළහරකින් පරණ මීගමු පාර හරහා ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් පිළිගැනීම්වලට ඔවුන් පාත්රවෙමින් ජනාධිපති මන්දිරයට කැඳවා ගෙනගිය අතර, ඉන් අනතුරුව ගාලු මුවදොර පිටියේ පැවති විශේෂ පිලිගැනීමේ උත්සවයකට සහභාගී විය.
වාසනාව කියන දේ විශ්වාස කරන ක්‍රිඩකයෙකු නෙමෙයි මම- විස්සයි -20 නායක ලසිත් මාලිංග
"වාසනාව කියන දේ විශ්වාස කරන ක්‍රීඩකයෙකු නෙමෙයි මම. කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ, පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ හොඳින් පුහුණුවීම් කරලා කැපවීම් කරලා මේ ජයග්‍රහණය ලබාගත්තේ. අවසන් තරගයේදී ඉන්දියානු කණ්ඩායම සැලසුමකින් තොරවයි තරගය ක්‍රීඩාකළේ."
අපට මාධ්‍ය තහනමක් තිබුණා- මහේල ජයවර්ධන
"අවාසනාවකට වගේ මටයි සංගටයි මුළු තරගාවලිය පුරාම මාධ්‍ය තහනමක් තිබුණා තරග කළමනාකාරතුමාගෙන්. එමනිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් නැවත හැරී බලපුවාම මම හිතන්නෙ එය කාලෝචිත දෙයක්. මොකද ඔහුට වුවමනාව තිබුණෙ අපිව තරගාවලියට අවධානය යොමුකරවන්න. අපි ලංකාවෙන් පිටත්වෙද්දි රෑ 9 වෙනකන්වත් දැනගෙන හිටියේ නැහැ කණ්ඩායමක් විදියට යනවද කියලා.
ඒනිසා සමුගන්නවාද නැද්ද කියලා මාධ්‍යයට කියන්න අපට අවස්ථාවක් තිබුණෙ නැහැ. නමුත් අපි බංග්ලාදේශයට ගියවිට අපෙන් ප්‍රශ්නයක් ඇසුවා මේ අවසාන ලෝක කුසලානයද කියලා. මට දැන් අවුරුදු 37ක් වෙනවා. මට තව ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න බැහැ, එමනිසා මම කීවා මේ අවසාන ලෝක කුසලානය කියලා. මගෙන් ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුරක් පමණයි. නමුත් මම ගොඩක් කනගාටුවෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීතුමාත්, ලේකම්වරයාත් මම එවැනි ප්‍රකාශයක් කළාද කියලා සොයා නොබලා තමන්ගේ මාධ්‍යයකට ගිහිල්ලා මමත් සංගාත් කළ ප්‍රකාශ විවේචනය කරපු එක ගැන.
මහේලටයි මටයි දිගුකාලීන අනාවැකි කියන්න බැහැ- කුමාර් සංගක්කාර
"මට කියන්න තියෙන්නෙත් මහේල කියපු දේමයි. මමත් එක්තරා පුවත්පතකින් ඇසූ පැනයකට පිළිතුරක් ලබාදුන්නා මේ මගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය කියලා. මහේලගෙයි මගෙයි ඉදිරි අනාගතය කීවොත්, අපට දිගුකාලීන අනාවැකියයක් කියන්න බැහැ. ඉතාමත් ආසාවෙන් ඉන්නවා 2015 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න."
හදවතින්ම සුබපතනවා ශ්‍රී ලංකාව ලෝක කුසලානය හිමිකර ගැනීම ගැන- දිනේෂ් චන්දිමාල්
"මට නවසීලන්ත තරගයේදී තරග තහනමක් පැනවුණා. ඒ වෙනුවට ආදේශ කළේ ළහිරු තිරිමාන්න. ළහිරු, ඔහුට ලැබුණු වගකීම උපරිමයෙන් කළා. ඉන්පසු මම කල්පානා කළා මම ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා අතර නොසිටි නිසා ඉදිරියටත් ඉවත්ව සිටීමට. මොකද මට වැදගත් වෙන්නෙ සමස්ත ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය. මම කණ්ඩායම ඇතුළට ගිහිල්ලා තිරිමාන්නව සඟවා තැබීමේ උවමනාවක් මට තිබුණෙ නැහැ. මාලිංග පෙන්නුවා, ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක් කියලා. ඔහු දුරු කළා වේග පන්දු යවන්නන්ට නායකත්වය දරලා ජයග්‍රහණය කරන්න බැහැ කියපු දේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස මහේල අයියයි සංග අයියයි ඔවුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාදුන්නා."
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු