යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ යුගල කාන්තා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අචිනි රත්නසිරි හා උපුලි සමන්තිකා ඊයේ (03දා) රාත්‍රියේ සමත් වූහ.
මෙරට සිටින සාර්ථකම කාන්තා යුගලය ලෙස සැලකෙන අචිනි - උපුලි සුසංයෝගය ඊයේ පැවැති තරයෙන් ඉරාන ක්‍රීඩිකා යුගලය 24/22, 21/15 ක් ලෙස තරග වට 2/0 කින් පරාජය කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනාට අමතරව මෙම වටයට ශ්‍රී ලංකා ක්‍රීඩිකා යුගල පහක් ක්‍රීඩා කළ අතර, එම සියලුදෙනාටම පරාජයන් අත්විදීමට සිදුවිය.
එම තරග වලට අමතර ඊයේ (03දා) දහවල් කේවලපිරිමි දෙවැනි වටයේ තරග පැවැති අතර, එම වටයට හා සුදුසුකම් ලබාසිටි එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ දිනූක කරුණාරත්න පෙර අර්ධ අවසන් පූර්ව වටයට (තෙවැනි වටය) සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
මෙම තරග වටයේ පෙරේදා (02දා) රාත්‍රියේ පැවැති පළමු වටයේ තරගයෙන් මැලේසියාවේ වින්සන් නියෝ තරග වට 2/0 කින් පරාජය කර දෙවැනි වටයට සුදුසුකම් ලැබූ දිනූකට ඊයේ ලෝක ශ්‍රේණිගතකිරීම්හි 227 වැනි ස්ථානයේ පසුවන තායිලන්තයේ කන්ටපොන් වොන්ග්චරොන් (Kantaphon Wangcharoen) සමගින් තරග වැදීමට සිදුවිය.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 110 වැනි ස්ථානයේ මෙන්ම තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් අතර 10 වැනි ස්ථානයේ පසුවන දිනූකට මෙම තරගය ජයගැනීම එතරම් පහසු නොවීය. කෙසේ නමුත් ඉතා තියුණු තරගයකින් පසු වට 2/1 ක් ලෙස එය ජයගැනීමට ඔහුට හැකිවිය.
මෙම තරගයේ පළමු වටයේ ලකුණු 21/16 ක් ලෙස දිනූක පරාජය වූ අතර, තියුණු සටනකින් අනතුරුව 22/20 ක් ලෙස දෙවැනි වටය ජයගැනීමට ඔහුට හැකිවිය. නමුත් තෙවැනි වටයේදී ප්‍රතිවාදී තායිලන්ත ක්‍රීඩකයාගේ තරගකාරීත්වය හීනවී තිබූ අතර, ඒ අවසරයෙන් 21/09 ක් එම වටය ජයගත් දිනූකට පෙර අර්ධ අවසන් පූර්ව වටයට පහසුවෙන් සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.
මෙම තරගයට අමතරව කේවල කාන්තා පළමු වටයේ තරග ඊයේ (03දා) උදෑසන පැවැත්විණි. එම තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ සිවුදෙනෙක් තරග කළ අතර, එම සියලුදෙනාට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
එම ක්‍රීඩිකාවන් අතරින් අචිනි රත්නසිරි රුසියාවේ සබ්රිනා ජැකෙට්සමගින් තරග කළ අතර, එම තරගයෙන් 21/19, 21/10 ලෙස තරග වට 2/0 කින් පරාජයවීමට අචිනිට සිදුවිය.ඉන්දියාවේ රියා පිල්ලේ සමගින් කාවිදිකා බිනරි තරග කළ අතර, ඇයද 21/16, 21/07 ක් ලෙස ඉන්දීය ක්‍රීඩිකාව හමුවේ පරාජය වූවාය.
නිතරග අවස්ථාවක් ලබා මෙම වටයට සුදුසුකම් ලැබූ ඕෂධී කුරුප්පු, මැලේසියාවේ සන්නාටසාහ් සමගින් තරග වැදුන අතර, ඇයද 21/15, 21/13 ලෙස වට 2/0 කින් මැලේසියානු ක්‍රීඩිකාව හමුවේ පරාජය විය. ඔවුන්ට අමතරව ලේඛා ශෙහානි තායිලන්තයේ සුපනිසදා කෙටෙතොංග් සමගින් තරග වැදුන අතර, 26/24, 21/15 ලෙස වට 2/0 කින් ලේකා පරාජය වූවාය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරට සංවිධානයකළයොනෙක්ස් සන්රයිස් ශ්‍රීලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පෙරේදා (02දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, එම තරගාවලිය එළඹෙන සෙනසුරදා (06දා) දක්වා පැවැත්වේ.
ඡායාරූප- ඒෂාන් ප්‍රනාන්දු