A කාණ්ඩයේ ශූරයන් වෙමින් තීරණාත්මක ජය ශ්‍රී ලංකාවට
ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගයෙන් හොංකොං පරදා ලකුණු 60-45 ක විශිෂ්ට ජයක් ලැබීමට ආසියානු යොවුන් ශූරියන් වන ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව %ඒ^ කාණ්ඩයේ ශූරියන් ලෙස අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ශ්‍රී ලංකාව අවසන් පුර්ව තරගයේදී සිංගප්පූරුව සමග තරග කිරීමට නියමිත අතර, එම තරගය හෙට (12දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30 ට ආරම්භවීමට නියමිතය.දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේදී ඊයේ (10දා) පස් වැනි දිනටත් තරග පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා - හොංකොං තීරණාත්මක තරගය පැවැත්වූයේ දිනයේ තෙවැනි තරගය ලෙසිනි.
අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබුණු අතර, පළමු කාර්තුවේ සිටම තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව වේගවත්ව හා මනා සංයමයකින් ගෝල රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුව නිමාකළේ, ලකුණු 18-10 ක් වශයෙන් පෙරමුණ ගනිමිනි. දෙවැනි කාර්තුව තුළදීද ග්‍රහණය ලිහිල් නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුවේදී ලකුණු 11-11 ක් ලෙස ලබාගනිමින් සමස්ත ලකුණු සංඛ්‍යාව 29-21 ක් ලෙස තවදුරටත් තරගය පාලනය තමා වෙතට නතුකරගැනීමට සමත්විය.
තෙවැනි කාර්තුවේදී හා සිවුවැනි කාර්තුවේදී යම් පමණකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් වැරදි සිදුවුණු බවක් පෙනුණද එය සමස්ත ලකුණු සංඛ්‍යාවට විශාල බලපෑමක් නොකළේය. තෙවැනි කාර්තුව ලකුණු 17-11 ක් හා සිවුවැනි කාර්තුව ලකුණු 14-13 ක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගැනීමට සමත්විය. එහිදී තෙවැනි හා සිවුවැනි කාර්තුවලදී සමස්ත ලකුණු සංඛ්‍යාව පිළිවෙලින් 46-32 ක් හා 60-45 ක් වශයෙන් නිමාකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ගෝල විදින්නිය වූ කවීනා රාජපක්ෂගේ ගෝල විදීමේ නිර්වද්‍යතාව සියයට සියයක අගයක් ගත්අතර, නිලුමි හපුආරච්චි දක්ෂතාද කැපී පෙනුණි. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු පවසා සිටියේ, කෙසේ හෝ මෙවර ශූරතාව දිනාගැනීමට තම කණ්ඩායම කටයුතු කරන බවයි.
“ඇත්තටම තියුණු තරගයක් තිබුණා. ජයග්‍රහණය කිරීමට ලැබීම විශාල භාග්‍යයක්. සියලුම ක්‍රීඩිකාවන් මෙම තරගය ජයගන්න මහන්සි වුණා. මීට වඩා තරගයක් ලබාදෙන්න අපිට පුළුවන්. අපේ අතින් මෙම තරගයේදී වුණු වැරදිත් මගහරවාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපිට අවසන් පූර්ව තරගය තිබෙන්නේ සිංගප්පූරුව සමගයි. එම තරගයත් ඉතා හොඳින් ජයග්‍රහණය කරන්න අපේක්ෂා කරනවා. හොංකොං තරගයට වඩා වැඩි ජවයකින් ක්‍රීඩා කිරීමට අපි සූදානම්" යැයි ශ්‍රී ලංකා නායිකාව වැඩිදුරටත් පවසා සිටියාය.
මෙම තරගයේදීද ශ්‍රී ලංකා නායිකාව පිටියට නොකැඳවූ අතර, තරගයේ කාර්තුවෙන් කාර්තුව ශ්‍රී ලංකාව දැඩි උද්යෝගයකින් ක්‍රීඩා කරනු පෙනුණි.හෙට (12දා) තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භවීමට නියමිත අතර, ශ්‍රී ලංකා, සිංගප්පූරු හා මැලේසියා, හොංකොං අතර තරග දැඩි අවධානය දිනාගත් තරග ලෙස හැඳින්විය හැකිය.
තරගයෙන් අනතුරුව මාධ්‍ය‘වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පුහුණුකාරිනී තමාරා ලියනගේ පවසා සිටියේ, මෙම දක්ෂතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම දක්ෂතාව නොවන බවත්, අවසන් පූර්ව තරගයේදී එය දැකබලා ගැනීමට හැකි බවත්ය.
“අපේ ළමයි හොංකොං තරගය සාර්ථකව නිමා කළා. මේක තමයි අපේ ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා විලාසය. නමුත් අපිට තව ලකුණු 06 ක්වත් ලබාගන්න තිබුණා. කාණ්ඩයේ ශූරියන් ලෙස ඊළඟ අදියරට යන්න අපිට වුවමනා වුණා. එය ළමයි ඉතා හොඳින් කළා. ඉදිරි තරගවලදී වෙනස් සැලසුමක් යටතේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.
හොංකොං තරගයේදී අපේ ළමයින්ගෙන් වැරදි කිහිපයක් වුණේ ළමයි මානසිකව පීඩනයට ලක්වෙලා හිටපු අවස්ථාවක. මම විශ්වාස කරනවා මේ වෙද්දී අපේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව අඩුවෙලා තිබෙනවා කියලා. මේ සියලු කාරණා මගහරවා ගනිමින් තරගාවලියේ ඉදිරියට යන්න අපේක්ෂා කරනවා" යැයි වැඩිදුරටත් ශ්‍රී ලංකා පුහුණුකාරිනිය පැවසුවාය.
ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ඊයේ (10දා) 05 වැනි දිනට තරග ආරම්භ කරමින් පළමු තරගයෙන් පාකිස්ථානය ලකුණු 70-09 ක් ලෙස පරාජය කිරීමට තායිලන්තය සමත් වූ අතර, සිංගප්පූරු- චීන තායිපේ තරගයෙන් ලකුණු 79-15 ක ජයක් හිමිකරගැනීමට සිංගප්පූරුව සමත්විය. දිනයේ අවසන් තරගය ලෙස මැලේසියාව - දකුණු කොරියා තරගයෙන් මැලේසියාව ජයගත්තේ ලකුණු 106-12ක් ලෙසිනි.
අද (11දා) සියලු කණ්ඩායම් සඳහා විවේකී දිනයක් වන අතර, සියලු කණ්ඩායම් සඳහා ජොංජු නුවර චාරිකාවක් සංවිධානය කිරීමට තරග සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
(දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේ සිට)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

