ජෝෂ් බට්ලර් හා ක්‍රිස් වෝක්ස් හයවැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත සබඳතාව ඉදිරියට පවත්වාගෙන ගිය එංගලන්ත පසුපෙළ පිතිකරුවෝ තීරණාත්මක අවසන් පන්දුවේදී ලබාගත් හයේ පහර හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර නොටිංන්හැම්හිදී අද (22දා) අලුයම (මෙරට වේලාවෙන්) අවසන් වූ පළමු එක්දින තරගය ලකුණු සමව නිමාවට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 287ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසනදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.
එංගලන්ත ඉනිම ජය මාවතට රැගෙන ඒම සඳහා වාර්තාගත සබඳතාවක් ගොඩනැගූ ජෝෂ් බට්ලර් හා ක්‍රිස් වෝක්ස් 07 වැනි කඩුල්ලට ලකුණු 138ක සබඳතාවක් ගොඩනැගූ අතර, එය ශ්‍රී ලංකාවට එරෙහිව එම කඩුල්ලට එංගලන්ත පිතිකරු යුගලයක් ක්‍රීඩාකළ ඉහළම සබඳතාව විය. ඔවුන් දෙදෙනා මුළු ලකුණු 82 /6 ක් ලෙස සටහන්ව තිබූ ඉනිම ලකුණු 220/7ක් දක්වා රැගෙන ආහ.
මෙහිදී එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමිවූ අතර, නුවන් ප්‍රදීප් යොමුකළ එම පන්දුවාරයේදී ඔවුහු ලකුණු 13ක් රැස්කර තරගය සම කළහ. මෙහිදී ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 95ක් රැස්කිරීමට සමත්වූ අතර, එය ලෝක ක්‍රිකට් පිටියේ අංක 08 පිතිකරුවෙකු රැස්කළ ඉහළම ඉනිම විය.තරගයේ වීරයා ලෙස ක්‍රිස් වෝක්ස් සම්මාන දිනාගත්තේය.
ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 09ක් දැවී ලකුණු 286ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉනිමක් ක්‍රීඩාකළ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක් රැස්කිරීමට සමත්වූ අතර, මෙම තරගයේද ක්‍රියාත්මක වූ සීක්කුගේ ප්‍රසන්න ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 28කදී ලකුණු 59ක් රැස්කිරීමට සමත්විය. මෙහිදී සීක්කු පන්දු 24කදී ලකුණු 50 සීමාව පසුකිරීමට සමත්වූ අතර, එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය විය.