රග්බි හා මේසපන්දු ක්‍රීඩා දෙක අතරින් වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ ක්‍රීඩාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර විය හැක්කේ රග්බි ක්‍රීඩාවයි. කණ්ඩායම් ක්‍රීඩා අතරින් ලොව ප්‍රමුඛතම ක්‍රීඩාවක් වන රග්බි ක්‍රීඩාවේ ක්රීඩකයෝද ඇතැම් විට ලෝක ප්‍රසිද්ධ මට්ටම කරා ගමන් කරති. නමුත් අද අපගේ කථානායකයා රග්බි ක්‍රීඩාව නිසා ජීවිතය වරද්දා ගත්තත් ඉන් නොසැලී සිය ගමන් මාර්ගය වෙනස් මගක් කරා ගෙන ගිය අතර ඒ ගිය මග ඔහු ලෝක මට්ටම කරා ගෙන ගියේ මේසපන්දු ක්‍රීඩාවෙන් වීම සුවිශේෂීය.
පසුගිය වර්ෂයේ පැරාලිම්පික් තරගාවලියේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ඔහු නමින් රොබ් ඩේවිස් ය. හෙතෙම පසුගිය ඔලිම්පික් තරගාවලියේ මේසපන්දු ඉසව්වේ පළමු පංතියේ (Class 1) ශූරතාව දිනා ගැනීමටද සමත්වූ අතර ඔහු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි. ආබාධිත ක්‍රීඩකයෙකු වශයෙන් බ්‍රිතාන්‍ය ක්‍රීඩාවට ඔහු කළ අමිල මෙහෙවර නිසා මේ වසර (2017) සඳහා බ්‍රිතාන්‍ය රාජකීයයන් අතින් පිදෙන ඉහළම සම්මානයක් වන එම්.බී.ඊ. සම්මානයෙන්ද ඔහු පසුගියදා පිදුම් ලැබීය.
උපතින්ම බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඩේවිස් උපත ලබන්නේ 1984 වර්ෂයේදීය. ඒ අංගසම්පූර්ණ දරුවෙකු ලෙසිනි. දේහධාරී ක්‍රීඩකයෙකු ලෙසින් කුඩා කල සිටම ප්‍රකට වූ ඩේවිස් මුලින්ම රග්බි ක්‍රීඩාවට අත්පොත් තබන අතර රග්බි ක්‍රීඩාවෙන් හෙතෙම වෘත්තීය මට්ටමට පවා ගමන් කිරීමට සමත්කම් දැක්වීය.
කෙසේ වෙතත් 2005 වර්ෂය ඩේවිස්ගේ ජීවිතයේ අඳුරුතම කාලපරිච්ඡේදය සනිටුහන් කළේය. ඒ රග්බි තරගයක් අතරතුරදී අනතුරට ලක්වූ ඩේවිස්ගේ සුසුම්නාවට ඉන් හානි සිදුවීමයි. වෛද්‍යවරුන්ගේ දැඩි පරිශ්රමය නිසා යම්තම් අතපය සොලවාගත හැකි මට්ටමට පැමිණි ඔහුට එතනින්ම සිදු වූයේ සිය වෘත්තීයමය මට්ටමට පැමිණි රග්බි ක්‍රීඩාවට සමුදීමටය.
එක්තැන්වීමෙන් පසු බොහෝ දෙනෙකු සිය සිහින බිඳ දමාගත්තද ඩේවිස්ගේ ජීවිතය වෙනස් මට්මකට ගමන් කළේ තවත් පැරාලිම්පික් ක්‍රීඩිකාවක වූ සාරා හීඩ් හමුවීමත් සමගිනි. සාරා තමන් ක්‍රීඩා කළ මේස පන්දු ක්‍රීඩාවට ඩේවිස් එක් කර ගැනීමටද සමත් වූවාය.
කෙසේ වෙතත් මේස පන්දු ක්‍රීඩාවට එක් වීමෙන් අනතුරුව සිය අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රීඩාවට ඇලුම් කළ ඔහු වසර දෙකකට පසු බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමට එක්වීමට තරම් සිය දක්ෂතා වර්ධනය කරගත්තේය. ඉන් අනතුරුව 2011 වර්ෂයේදී යුරෝපානු ශූරතාවේදී පිරිමි කණ්ඩායම් රිදී පදක්කම දිනාගත් ඔහු දෙවතාවක් යුරෝපානු කණ්ඩායම් හා ඒකල ශූරතා රන් පදක්කම් දිනාගැනීමට සමත්කම් දැක්වීය. එයින් නොනැවතුණු ඔහු 2013 වර්ෂයේදී එවකට ලෝක ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ පසුවූ ජර්මනියේ හොගර් නිකල්ස් පරදා ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනාගැනීමට ද සමත් විය.
ආබාධිත බව බාධාවක් කර නොගනිමින් සිය ක්‍රීඩා ජීවිතයේ හිණිපෙත්තටම ළඟා වූ ඩේවිස් පසුගිය ඔලිම්පික් තරගාවලියේදී සිය ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීම සම්පූර්ණ කළේ දකුණු කොරියාවේ යන්ග් ඩෑ ජූ අවසන් තරගයේදී පරාජයට පත් කරමිනි. සිය අනාගත සිහිනය යථාර්ථයක් බවට පත්කරගත් ඩේවිස් තමා පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ දිරියෙන් නැගී සිටීමට තමන් තරම් ආදර්ශයක් සොයාගැනීම පවා උගහට බවයි. ක්‍රීඩාවෙන් තමන් ආ ගමන් මග සම්පූර්ණයෙන් වෙනස් වෙද්දී පවා දිරියෙන් සිය ඉලක්කය කරා ගමන් කළ ඩේවිස් වැනි ක්‍රීඩකයන්ගෙන් ඕනෑම අයෙකුට ලබාගත හැකි පාඩම් බොහෝය.