සංචාරක බංග්ලාදේශය හා සත්කාරක නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (15දා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශය කඩුලු 03කට ලකුණු 66ක් ලබා සිටියි. ඒ අනුව බංග්ලාදේශය නවසීලන්තයට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් පසුවෙයි.
වෙලිංටන්හි බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේදී පසුගියදා (12දා) ඇරඹුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 08ක් දැවී ලකුණු 595ක් රැස්කර ඉනිම අත්හිටුවීය. මෙය බංග්ලාදේශය ටෙස්ට් තරගයක ලැබූ ඉහළම දෙවැනි ලකුණු සංඛ්‍යාව විය. මීට පෙර බංග්ලාදේශය ඉහළම ලකුණු වාර්තා කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදීය. ඒ ලකුණු 638 කි.
මෙම තරගයේදී බංග්ලාදේශ ලකුණු පුවරුව වේගවත් කළ ශකීබ් අල් හසන් ලකුණු 217ක්ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 159ක්ද රැස්කළහ. මොවුන් දෙදෙනා අතර ගොඩනැගුණු ලකුණු 395ක සබඳතාව බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලකට ගොඩනැගූ හොඳම සබඳතාව වේ. එමෙන්ම බංග්ලාදේශ පිතිකරුවකු වාර්තා කළ තෙවැනි ද්විත්ව ශතකය වාර්තා කළ ශකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු (217) සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය.
මීට පෙර ඉහළම ලකුණු වාර්තා කර තිබුණේ තමීම් ඉක්බාල් (206) පාකිස්තානයට එරෙහිවය. කෙසේ වෙතත් බංග්ලාදේශ දැවැන්ත ලකුණු පුවරුවට සාර්ථක පිළිතුරක් එක් කළ නවසීලන්ත පිතිකරුවෝ සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 539ක් රැස්කළහ. එහිදී ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 177ක් රැස්කිරීම සුවිශේෂීය.