සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රියාත්මක වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ජොහැන්නස්බර්ග්හිදී අද (12දා) අාරම්භ වේ.
පළමු තරගයෙන් ලකුණු 206ක විශිෂ්ට ජයක් හිමිකරගත් ද. අප්‍රිකානුවෝ, දෙවැනි තරගයෙන්ද ලකුණු 282ක දැවැන්ත ජයක් හිමිකරගත්හ. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් ලෙස ජයගනිමින් දකුණු අප්‍රිකාව තරගාවලියේ ඉදිරියට පැමිණියද, ඔවුහු තරග 3-0ක තරගාවලි ජයක් අපේක්ෂාවෙන් අද තරග බිමට පිවිසෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරග දෙකෙහිදී ඉදිරිපත් කළ දක්ෂතා සලකා බලන්නේ නම් ද.අප්‍රිකානුවන් අපේක්ෂාවෙන් පසුවන 3-0ක තරගාවලි ජය යථාර්ථයක් වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉහළය. තුන්වැනි ටෙස්ට් තරගයේ ජය කෙසේ වෙතත් ජය පැරදුමෙන් තොරව අවසන් කරගන්නට හැකි වුවහොත් පළමු සහ දෙවැනි ටෙස්ට් තරගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම යම් ප්‍රමාණයකට ඉදිරියට පැමිණ ඇතැයි සතුටු විය හැකිය. ඒ සඳහා පිතිකරුවන්ගේ වැඩි දායකත්වයක් අවශ්‍යය.
දෙවැනි තරගයේ පළමු ඉනිමේ ළහිරු කුමාර පන්දු යැවීමට පැමිණියේ සිව්වැනි පන්දු යවන්නා ලෙසය. වේගයෙන් පන්දු යැවිය හැකි ඔහුව සිවුවැනි පන්දු යවන්නා ලෙස කැඳවීම නායක මැතිව්ස් වෙතින් දෙවැනි තරගයේ පළමු ඉනිමේ දී සිදුවූ විශාල අතපසුවීමකි. තරගාවලියට පෙරාතුව මැතිව්ස් සඳහන් කර සිටියේ, ළහිරු මෙම තරගාවලියේදී වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යැවීමට බලාපොරොත්තු වන බවය.
ඒ ද. අප්‍රිකානු තණතිලි වේගපන්දු යවන්නන්ට වැඩි සහායක් දක්වන බව ඔහු දැන සිටි හෙයිනි. එහෙයින් ඔහු ගැන නොසිතා කණ්ඩායම ගැන සිතුවේ නම් ළහිරු තුන්වැනි පන්දු යවන්නා ලෙස කැඳවනු නිසැකය. කෙසේ වෙතත් මැතිව්ස් දෙවැනි ඉනිමේදී එම වැරැද්ද නිවැරදි කරගත්තේය. එය දිගින් දිගටම සිදුකරන්නේ දැයි අපි බලා සිටින්නෙමු.
එක්දින තරගවලට සාපේක්ෂව මැතිව්ස් ටෙස්ට් තරගවලදී පන්දු යැවීමට පැමිණිය යුත්තේ පස්වැනි පන්දු යවන්නා ලෙසය. ඒ පිතිකරුවන් දෙදෙනෙකු දීර්ඝ ලකුණු සබඳතාවක් ගොඩනගා ගනිමින් සිටින්නේ නම් පමණක් විය යුතුය. එහෙයින් සම්බන්ධතා බිඳ දමන්නෙකු ලෙස ටෙස්ට් තරග බිමේදී මැතිව්ස් පන්දු යවන්නේ නම් හොඳය.
පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පන්දුවට පහරදීමේ තාක්ෂණය ඉතා දුර්වල තත්ත්වයක පැවතිණි. විශේෂයෙන්ම ඉදිරි පාදයේ ක්‍රීඩා කරද්දී පාදයත් පිත්තත් අතර ඇති පරතරය ඉතා වැඩිය. ද. අප්‍රිකාව වැනි රටවල ක්‍රීඩා කරද්දී මෙවැනි දුර්වලතා මගහරවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් කටයුතු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම පුහුණුකරුවන්ගේ සහ සහායකයන්ගේ වගකීමකි. එය නිවැරදිව සිදුවන අයුරු පෙනෙන්නට නැත.
ශ්‍රී ලංකා පිතිකරණ සංයුතිය තවමත් නිවැරදිව සකසාගෙන නොතිබීමද ගැටලුවකි. විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් අංක 05 පිතිකරුවා ලෙසත් චන්දිමාල් අංක 06 පිතිකරුවා ලෙසත් පන්දුවට පහරදීමට පැමිණීම අනුවණ ක්‍රියාවකි. කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් තිදෙනා අතරින් මැතිව්ස් අංක 04 පිතිකරුවා ලෙසත්, චන්දිමාල් අංක 05 පිතිකරුවා ලෙසත් අද තරගයට ක්‍රීඩා කරන්නේ නම්, උපුල් අංක 06 පිතිකරුවා ලෙසත් පන්දුවට පහරදීමට පැමිණෙන්නේ නම් වඩා හිතකරය.
එසේ නොවන්නට පිතිකරුවන් පන්දුවට පහරදෙන ස්ථාන තරගයෙන් තරගයට වෙනස් කිරීම අනුචිත ක්‍රියාවකි. එය සෙසු ක්‍රීඩකයන්ට කරන අසාධාරණයකි. ඔවුන්ට එක් ස්ථානයක ස්ථාවරවීමට නම් සෑහීමකට පත්විය හැකි තරමේ අවස්ථා ලබාදිය යුතුය. බොහෝ විට මැතිව්ස්ගේ ස්ථානය පමණක් වෙනස් නොවී තරගයෙන් තරගයට සෙසු පිතිකරුවන්ගේ ස්ථාන පමණක් වෙනස් වන්නේ මන්දැයි ගැටලුවකි.
එහෙයින් මැතිව්ස් අංක 04ට පැමිණ සෙසු පිතිකරුවන්ට ඒ ඒ ස්ථානවල ස්ථාවරවීමට අවස්ථාවක් ලබාදිය යුතුය. ශේෂයෙන්ම ද:අප්‍රිකාව වැනි රටකදී වැඩි වගකීමක් ගනිමින් මැතිව්ස් සහ චන්දිමාල් පිතිකරණ සංයුතියේ ඉදිරියට පැමිණ පන්දුවට පහර දිය යුතුය. එය තෙවැනි තරගයේදීවත් සිදුවන්නේ දැයි අපි බලා සිටිමු.
තරගය අද (12දා) ප.ව. 1.30ට ආරම්භ වේ.