දැල්පන්දු යොවුන් ලෝක කුසලානයට නම් කළ නිලධාරීන්ගේ පත්වීම් කිසිදු අයුරකින් නීත්‍යනුකූලභාවයක් නොමැති බවට පිරිසක් චෝදනා කර සිටිති. මේ වනවිටත් අදාළ නිලධාරීන්, වත්මන් දැල්පන්දු සංගමයෙන් පත්වීම් ලිපි ඉල්ලා ඇතත්, සංගමය එම පත්වීම් ලිපි ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. එමනිසා අදාළ පත්වීම්වලට කිසිදු නෛතික භාවයක් නොමැති බවට ඔවුහු චෝදනා කර සිටිති.
එමෙන්ම මෙම පත්වීම් සිදුකිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සිය අභිමතය පරිදි කටයුතු කර ඇතැයිද, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුදැනුම මත මෙම පත්වීම් සිදු කළා යැයි පැවසුවද, මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඊට ඍජු අනුමැතියක් හිමිව නැතැයිද ඔවුහු පෙන්වා දෙති.
මෙහිදී පත්වීම් ලද පිරිසෙන් (පුහුණුකාරිනියන් තිදෙනෙක්, අභ්‍යාසක, කළමනාකරු හා ක්‍රීඩා වෛද්‍යවරයා) කිහිපදෙනෙක් අදාළ පත්වීම්වලට වත්මන් සංගමයෙන් ලිපි ඉල්ලා ඇතත්, සංගමය කළ පත්වීමක් නොවන හෙයින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි 'අද' ට වාර්තා වේ.
අප මේ පිළිබඳව වත්මන් දැල්පන්දු සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර, ඇය පැවසූවේ සංගමයෙන් කළ පත්වීමක් නොවන හෙයින් තමාට නීතියට පිටින් කටයුතු කිරීමට නොහැකි නිසා කිසිවෙකුටත් පත්වීම් ලිපි ලබානොදුන් බවයි.
එමෙන්ම දැල්පන්දු යොවුන් ලෝක කුසලානයට නම් කළ නිලධාරීන් අතර, අඹු සැමි යුවළක්ද සිටින අතර, ඔවුනට ද එරෙහිව විරෝධතා මේ වනවිට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ දැල්පන්දුව තුළ 'අම්මයි - දුවයි' පුහුණුකාරිනියක හා ක්‍රීඩිකාවක ලෙස කටයුතු කිරීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කරමින් ඔවුන්ගෙන් එක් පාර්ශ්වයකට පමණක් කණ්ඩායම සමග ගනුදෙනු කිරීමට ක්‍රීඩා බලධාරීන් පියවර ගත් නිසා මෙවරද එය අනුගමනය කරමින් අඹු-සැමි යුවළගෙන් එක් අයෙකුට පමණක් අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙහිදී පත්වීම් ලබාදුන් එක් පුද්ගලයෙකු තනතුරට අදාළ සුදුසුකම් සපුරා නොතිබීම පිළිබඳව දැඩි ගැටලු සහගත තත්ත්වයක් පවතින බවද, එවැන්නකු නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවද අනාවරණය වේ. මෙම පත්වීම් සියල්ලට මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති අතර, නිලධාරීන් 05ක් යැවිය යුතු නීතිය කඩකරමින්, ඒ සඳහා 06 දෙනෙකු නම් කිරීම මෙම ප්රශ්නය තවත් උග්රකිරීමට හේතු වී තිබේ.
දැල්පන්දු යොවුන් ලෝක කුසලානය සඳහා පුහුණු උපදේශක ලෙස හයසින්ත් විජේසිංහ , පුහුණුකාරිනියන් ලෙස ජානකී ගුණසේකර හා අමල්කා ගුණතිලක යන මහත්මීන්ද අභ්‍යාසක ලෙස ආනන්ද වන්නිතිලක, කණ්ඩායම් කළමනාකාරිනිය ලෙස ජයන්ති සෝමසේකරම්ද, වෛද්‍යවරයා ලෙස ලාල් ඒකනායක යන මහත්ම මහත්මීන් නම් කර තිබේ.
මෙම සියලු පත්වීම් දැල්පන්දු සංගමය සිදු කළ පත්වීම් නොවන අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සිදුකළ පත්වීම් බවද වාර්තා වේ. මෙහිදී පැනනගින බරපතළ ගැටලුවක් වනුයේ, සංගමය සිදු කළ යුතු පත්වීම් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ඕනෑ එපා කම් මත සිදු කළේ ඇයිද යන්නයි. තවද විරෝධතාකරුවන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනුයේ මෙම පත්වීම් සිදුකිරීම නීත්‍යනුකූලව සංගමයට පවරා, ඊට නිසි අනුමැතිය ලබාදෙන ලෙසයි. එසේ නොවුණහොත් මෙය වැරදි පූර්වාදර්ශයක් වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.