ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල දකුණු අප්‍රිකානු සංචාරයක නිරතව සිටියි. එහිදී තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස පූර්ණ පරාජයකට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම පරාජය මෑතකාලීනව ටෙස්ට් පිටිය තුළ ශ්‍රී ලංකාව ලද දැවැන්තම පරාජයයිකි. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ ලද මෙම පරාජය හා අනාගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සමග කළ සාකච්ඡාවකි මේ.
Q මෙම ටෙස්ට් පරාජයට පෙර ශ්‍රී ලංකාව අඛණ්ඩව ටෙස්ට් තරග 05ක් ජයගෙන සිටියා. ඊට ඔස්ට්‍රේලියාව තරග 3-0ක් ලෙස පරාජය කිරීමද ඇතුළත්. ඔබ කොහොමද මෙම සංචාරය දකින්නේ?
පරාජයට පත්වීම ඇත්තටම කනගාටුවට කරුණක්. අපි දැනගෙන හිටියා දකුණු අප්‍රිකාව අපිට විශාල අභියෝගයක් කියලා. ඒ වගේම මේ වගේ අවස්ථාවල නැත්නම් මෙවැනි තත්ත්ව යටතේ ශ්‍රී ලංකාව සාර්ථක වෙලා තිබුණෙත් නැහැ. එසේම සමහර කණ්ඩායම් වගේම නමගිය විශිෂ්ට ක්‍රීඩකයන් පවා මෙරටදී පරාජයයට පත්ව තිබෙනවා. තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලිය පිළිබඳව අපට සතුටුවන්න බැහැ. එහි ප්‍රගතියක් අපි දකින්නේ නැහැ. අපි අවබෝධ කරගත යුතුයි පීඩනට යටතේ අපට කුමක්ද වුණේ කියන කාරණය.
ඒ වගේම දකුණු අප්‍රිකාව අපිට පීඩනය යොමුකළ ආකාරය. මෙහිදී ක්‍රීඩකයන් වසර ගණනාවක් ක්‍රීඩාකළ අයුරු පිළිබඳව විමසිය යුතුයි. විශේෂයෙන් පිතිකරණය තුළදී, උපමහද්වීපික තණතීරු මත ක්‍රීඩා කරලා මෙවැනි තණතීරුවල ක්‍රීඩා කරන්න ලැබුණම අසාර්ථක වෙනවා. ඒ වගේම ඔවුන් අපට නිර්මාණය කර තිබුණු තණතීරු. ඒවායෙහි ක්‍රීඩා කිරීම දුෂ්කර කාර්යයක්. මම හිතනවා පසුගිය කාලයේ අපි ක්‍රීඩා කළේ මෙම තණතීරුවලට වඩා පහසුවෙන් ක්‍රීඩා කළ හැකි තණතීරුවලයි. ඒ වගේම දකුණු අප්‍රිකානුවන් සියල්ල සකසාගෙන තිබුණේ ඔවුන්ට උචිත ආකාරයටයි.
Q ඔබගේ ගණනය කිරීම් අනුව කොතැනද අපට වැරදුණේ?
අපට එක් අංශයක් කියලා කියන්න බැහැ. අපි හැම අංශයකින්ම එතරම් හොඳට ක්‍රීඩා කළේ නැහැ. විශේෂයෙන් මෙවැනි තණතීරුවලදී ජයග්‍රහණයට බොහෝ ලකුණු රැස්කරගත යුතුයි. ඒ කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා. දකුණු අප්‍රිකානුවන් මෙම තත්ත්ව යටතේ අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා. අපේ බොහෝ ක්‍රීඩකයන්ගේ මෙය පළමුවැනි දකුණු අප්‍රිකානු සංචාරය. එනිසා මෙවැනි දුෂ්කර අවස්ථාවලදී ක්‍රීඩා කරන්නේ කෙලෙසද යන්න ඔවුනට හොඳ අත්දැකීමක් බවට මෙය පත්වෙයි කියලා විශ්වාස කරනවා. එය විශේෂයෙන් ඊළඟ දකුණු අප්‍රිකානු සංචාරය හොඳින් නිමා කර ගැනීමට රුකුලක් වේවිි.
Q ඇයි ශ්‍රී ලංකා කණ්ඩායම විදෙස් සංචාරවලදී අසාර්ථක වන්නේ. මෙවැනි තරගාවලියක් සඳහා ඉතා හොඳින් සූදානම් වීමට මොනවාද කළ යුත්තේ?
මෙම සංචාරයේ අපේ අඩුපාඩු පිළිබඳව ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවිය යුතුයි. දකුණු අප්‍රිකාවේදී අපිට ලංකාවේ තරග වලදී වගේ ක්‍රීඩා කරන්න බැහැ. එනිසා පළමුව අපි අපේ දේශීය තරගාවලි තුළ පවතින තරගකාරීත්වය වැඩි කළ යුතුයි. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවිය යුතු තවත් කරුණක් වන්නේ දේශීය තරගවල ඉතා හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට විවිධ තත්ත්ව යටතේ මෙන්ම වේගපන්දු යවන්නන්ට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීමයි. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයන් හුවමාරු කරගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතුයි. එහිදී විවිධ රටවලදී ක්‍රීඩා කිරීමට ඔවුනට අත්දැකීම් ලබාදිය යුතු අතර ඉන් ඔවුන්ගේ වර්ධනයක් දැකගත හැකිවේවි. මෙවැනි තරගාවලියකට සූදානම්වීමට කෙටි කාලයක් ලබාදීම ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක්. ඒ පිළිබඳවත් අවධානය යොමුකළ යුතුයි.
Q මෙම තරගාවලිය තුළ තිබෙන යහපත් ප්රවණතා මොනවාද?
සුරංග ලක්මාල්ගේ දියුණුව මෙහිදී අපි හැමෝම දුටුවා. ඔහු සිම්බාබ්වේදීත් ඉතා හොඳින් පන්දු යැව්වා. එනිසා ඔහු ගැන අපිට ප්‍රශංසාවෙන් කතා කළ හැකියි. ඒ වගේම ළහිරු කුමාරගේ විශාල දියුණුවක් දකිනවා. අපේ පෙර පෙළ පිතිකරණය දුර්වලයි. ඔවුන්ගෙන් අර්ධ ශතක 02ක් හැරෙන්නට කවුරුවත් ශතකයක් වාර්තා කළේ නැහැ. නමුත් අපේ පිතිකරණය තුළ ඉතා හොඳ පිතිකරුවන් අපිට සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් අත්දැකීම් ලබා අනාගතයේදී එම තත්ත්වය උපයෝගි කරගනීවි කියලා.
Q ආරම්භක පිතිකරු යුගළය මෙම තරගාවලියේදී අසාර්ථක වුණා.
ඔවුන් සිම්බාබ්වේහිදී ඉතා හොඳින් ක්‍රීඩා කළා . එනිසා ඔවුන්ව විවේචනය කිරීම අමාරු කාරණයක්. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් ඉදිරියේ ඕනෑම ආරම්භක පිතිකරු යුගළකට සාර්ථක වීම පහසු කාර්යයක් නෙමෙයි. මෙම තරගාවලියේදී ඔවුනට සාර්ථක වීම දුෂ්කර වුණා. නමුත් දිමුත්ගේ හොඳ ප්‍රවණතාවක් දකිනවා. ඔහු වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී අර්ධ ශතකයක් ලබා ගත්තා. කෞෂාල් ඔහුගේ දැවීයාම් පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි. ඔහුට මුහුණුදීමට සිදුවුණේ ඉතා හොඳ පන්දුවලටයි. මට ඔවුන්ගේ දක්ෂතා විවේචනය කරන්න අවශ්‍ය නැහැ. ආරම්භක පිතිකරුවන්ට මේ තත්ත්වය යටතේ ක්‍රීඩා කරන්න සිදුවීම දුෂ්කරයි.
Q අපේ පරාජය කොහොමද කණ්ඩායමක් විදිහට ගොඩනැගෙන්න අවබෝධ කරගෙන තිබෙන්නේ?
අපිට අලුත් මුහුණු 09ක් ඉන්නවා. විස්සයි 20 තරගාවලියට මෙන්ම එක්දින තරගවලට විශේෂඥ දක්ෂතා දක්වන. ඔවුන් සමග අපිට වෙනසක් කිරීමට හැකිවේවි. මේ හොඳම අවස්ථාව ටෙස්ට් තරගාවලියේ පරාජය අමතක කර ජයග්‍රහණය සඳහා සූදානම් වීමට.
Q නායක මැතිව්ස් නව පන්දුවෙන් පන්දු යැවීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
පන්දුවේ දෝලනයත් සමග මැතිව්ස්ට නව පන්දුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වගේම පැරණි පන්දුවෙනුත් ඔහු ඉතා හොඳට කරනවා. මම හිතනවා ඔහු යැවූ පන්දුවාර 20 තුළදී ලකුණු 30කට කඩුලු 02ක් දවාගැනීම විවේචනයට ලක්කළ යුතු නොවෙයි කියා. ඔහු අපේ සිවුවැනි වේගපන්දු යවන්නායි. ඒ වගේම ඔහු පන්දුවෙන් ඔහුගේ කාර්යය ඉතා හොඳින් සිදුකළා.
Q ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්වෙනවා. ඔබ හිතනවාද එය සාධාරණ විවේචනයක් කියා?
බලන්න. ඇන්ජලෝ ඉතා හොඳ කාර්යයභාරයක් සිදුකළා කණ්ඩායම වෙනුවෙන්. ඕනෑම කෙනෙකුට විවේචනය කරන්න පහසුයි. නායකයෙකු බලන්නේ පවතින තත්ත්වය අනුව හොඳම පන්දු යවන්නන් භාවිත කරන්නයි. ඇන්ජලෝට ලැබිලා තියෙන්නේ තරුණ කණ්ඩායමක්. ඔවුනට අත්දැකීම් අඩුයි. ඇන්ජලෝ කරන්නේ දුෂ්කර කාර්යයක්. එහෙත් මම හිතනවා ඔහු ඉතා හොඳින් කණ්ඩායම මෙහෙයවූවා කියලා. විශේෂයෙන් දැඩි පීඩනයක් යටතේ, ඒ වගේම ඔහු කණ්ඩායම එකට එකතු කරගෙන ක්‍රීඩා කළා. එය හොඳ ගුණාංගයක්.
Q ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පසුගිය කාලයේ ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමග කණ්ඩායමට මෙවැනි තත්ත්ව යටතේ ක්‍රීඩා කිරීමේ දුෂ්කරතාවක් මතුවී තිබෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?
මම හිතන්නේ නැහැ, අපි යම් ව්‍යුහයන්ට අනුගතවීම විය යුතුයි. අපිට තරුණ ක්‍රීඩකයන් විශේෂයෙන් විවිධ දක්ෂතා තිබෙන ක්‍රීඩකයන් ඉන්නවා. අපි ඔවුනට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වගේම ඔවුනට විශාල පීඩනයක් ලබානොදිය යුතුයි. විශේෂයෙන් මාධ්‍යයෙන් හා ක්‍රීඩා ලෝලීන්ගෙන්. මම හිතනවා තරුණ ක්‍රීඩකයන් ඉක්මනින් ඉගෙන ගනීවී. අපිට අවශ්‍යයි මෙම කණ්ඩායම තුළ සුපිරි තරුවක් දෙකක් බිහිකරන්න. විශේෂයෙන් පීඩනය යටතේ ක්‍රීඩා කළ හැකි. ඔබ දන්නවා මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර හිටියා නම් ඔවුන් හැමවිටම ප්‍රතිවාදීන්ට පීඩනය යොමුකරනවා. අපේ තරුණ ක්‍රීඩකයනුත් ඒ දේ කළ යුතුයි. නමුත් අවාසනාවකට මේ අවස්ථාවේ එවැන්නක් සිදුවුණේ නැහැ. එනිසා අපි අපේ තරුණ ක්‍රීඩකයන්ට අවශ්‍ය අවස්ථාවන් හා සහාය ලබාදිය යුතුයි ඔවුන්ගේ වර්ධනයක් ලබාගැනීමට නම්.
චම්පික ප්‍රනාන්දු දකුණු අප්‍රිකාවේ
ජොහැනස්බර්ග් නුවර සිට