තරගයේදී සිය ඉනිම පිලීබඳ සතුටු වන බවත් කණ්ඩායම අසීරු තත්වයකට වැටී තිබියදී දිනේෂ් චන්දිමාල් හා එක්ව කඩුල්ල ආරක්ෂා කරමින් පන්දුවට පහර දීමට තීරණය කළ බවත් ඔස්ට්‍රේලියාව සමගින් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරු ධනංජයද සිල්වා පැවසි ය.
‘මගේ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඔස්ට්‍රේලියානු කන්ඩායම හොඳින් පන්දු යැව්වා. තණතීරුව දඟ කැවෙන සුළුයි. කොහොම වුණත් මායි චන්දි යි (දිනේෂ් චන්දිමාල්) කඩුල්ලේ රැඳී සිටින්න තමයි කථා කර ගත්තේ. විශේෂයෙන් චන්දිමාල්ගෙන් මට හොද සහයෝගයක් ලැබුණා. ඔහු මට උපදෙස් දුන්නේ බෝලෙ කැපෙන පැත්තට (පන්දුව දඟ කැවෙන දිශාවට) පන්දුවට පහර දෙන්න කියල යි.’
යනුවෙන් හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ධනංජය මෙහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර හෙතෙම දිනය අවසන් වන විටදී නොදැවී ලකුණු 116 ක් රැස් කරගෙන සිටියේ ය. එමෙන්ම දිනේෂ් චන්දිමාල් හා එක්වී හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක නොබිඳුනු සබඳතාවක් පැවැත්වීමටද ඔහු සමත් විය. එය ශ්‍රී ලංකා පිතිකරු යුගලක් ඔස්ට්‍රේලියාවට එරෙහිව හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළම දක්ෂතාවයි.කෙසේ වෙතත් ලකුණු 26 ට කඩුළු 5 ක් ලෙසින් සනිටුහන් වූ ශ්‍රී ලංකා ඉනිම මේ නිසා දිනය අවසන් වන විටදී කඩුළු 5 ක් දැවී ලකුණු 214 ක් දක්වා ඉහළ නැංවීමට ධනංජය හා චන්දිමාල් සුසංයෝගයට හැකි විය.
මේ අතර තමන්ට වඩාත්ම පිතිකරණයේ යෙදීමට පහසු ස්ථානය පිළීබද මාධ්‍යෙව්දියෙකු ඇසූ පැනයකට පිළිතුරු සැපයූ ධනංජය පැවසුවේ කණ්ඩායමේ ඕනෑම ස්ථානයක තමන්ට පන්දුවට පහර දිය හැකි බවයි.
මේ අතර ඔස්ටේලියානු පන්දු යවන්නන් පිළීබඳවද අදහස් දැක්වූ ධනංජය ‘මිචෙල් ස්ටාක් තමයි කණ්ඩායම් භයානකම පන්දු යවන්නා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ ඔහුගේ පන්දු මඟ ඇරල ක්‍රීඩා කරන්න’ යැයි පැවසීය