සේවකයන් 88ක් එළියේ, යැපෙන්නෝ 350ක් පීඩාවට පත්වෙති
නිවාඩු දින රාජකාරි දීමනා හා අතිකාල දීමනා අත්හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු සේවකයන් මෙම වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට පළාත් ක්‍රිකට් සංගම්වලට අනුයුක්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා ක්‍රීඩා ඇමතිවරයාට ලිඛිතව කරුණු දැක්වීමට ක්‍රිකට් ක්‍රීඩාංගණ 06 ක සේවකයන් එක්ව පියවර ගෙන තිබේ.
ඔවුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ පළාත් ක්‍රිකට් සංගම්වලට අනුයුක්ත කිරීමෙන් සිය සේවය පිළිබඳව බරපතළ ගැටලු රැසක් පැන නැගී ඇති බවයි.
ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යොමු කළ ලිපිවලින් ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ, සූරියවැව, කුරුණෑගල වෙලගෙදර, මග්ගොන සරේ යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල සේවයේ යුකුතු ඔවුන් ක්‍රිකට් ආයතනයේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බවත්, ඔවුන් වසර 10 ක් සහ ඇතැමුන් වසර 16 ක කාලයක් අඛණ්ඩව සේවයේ යෙදී සිටින්නන් වන හෙයින් මෙමගින් බලවත් අසාධාරණයක් ඔවුනට සිදුව ඇති බවයි.
එසේම පළාත් ක්‍රිකට් සංගම් වෙත යොමු කිරීමේදී ඔවුන්ගේ එම සේවා කාලය පිළිබඳ තක්සේරුවක් නොකර නව සේවකයන් ලෙස වසරක කොන්ත්‍රාත් කාලයක් ලබාදීම ඔවුනට කරන ලද අසාධාරණයක් බවද ඔවුහු පෙන්වා දෙති.
කම්කරු නීතිය අනුව වසර 05 කට වඩා අඛණ්ඩ සේවයේ යෙදී සිටින්නන්ගේ සේවය ස්ථිර කළ යුතු බවත්, ඒ අනුව 2015 වසරේ ඔක්තෝම්බර් මස ඔවුන් සේවයේ ස්ථිර කර පත්වීම් ලිපි ලබාදුන්නද එය අර්බුදයකට ලක්වීමෙන් ඔවුනගේ සේවය පිළිබඳව අනපේක්ෂිත තත්ත්වයක් මතුව ඇතැයි ඔවුන් එම ලිපිවලින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර තිබේ.
එමෙන්ම එම ලිපිවලින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2016.12.16 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හා වයස අවුරුදු 45 ට අඩු අවුරුදු 05 ක සේවා කාලයක් සපුරා ඇති සියලුම සේවකයන් ඇගයීමට ලක්කර සේවයේ ස්ථිර කිරීමට පොරොන්දු වූ බවයි.
කෙසේ වෙතත් එම පොරොන්දු මේ වනවිට කඩවුණු පොරොන්දු බවට පත්ව ඇතැයි ඔවුහු චෝදනා කරති. සේවකයන් ඔවුනට අසාධාරණයක් වන කාරණා 07 ක් මෙහිදී පෙන්වා දෙන අතර, මෙලෙස ඔවුන් සේවයෙන් ඉවත් කරන විටදී අනෙක් පසින් හිතවතුන්ට සේවා දිගු ලබාදීමට කටයුතු කර ඇතැයි ඔවුහු චෝදනා කරති.
එමෙන්ම පළාත් වලට අනුයුක්ත කිරීම හේතුවෙන් සිංහල අලුත් අවුරුදු ප්‍රසාද දීමනා අහිමි වීම, වෛද්‍ය රක්ෂණය අහිමි වීම, හදිසි මරණ දීමනා අහිමි වීම වසර අවසාන සේවක ප්‍රසාද දීමනා අහිමි වීම යනාදී ප්රතිලාභ අහිමි කර ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
මෙම ලිපිවල පිටපත් ඔවුන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාටද යොමුකර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට සමහර පළාත් ක්‍රිකට් සංගම් ක්‍රියාත්මක නොවී 'සුදු අලි' බවට පත්ව ඇතැයි චෝදනා කරන සේවකයන් ඔවුනගේ මෙම මස වැටුපද ඔවුනට අහිමි කර ඇතැයි සඳහන් කළහ. ඒ පළාත් ක්‍රිකට් සංගම්වල නිසි ක්‍රමවේද ඒ සඳහා ක්‍රියාත්මක කර නොමැති නිසාය. එම පළාත් සඳහා වැටුප් යොමු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමනාකරණ අංශයෙන් මේ වනවිටත් අත්හිටුවා ඇතැයි 'අද' ට වාර්තා වේ.
වැටුප පළාත්වලට යොමුකර තිබෙනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තොරතුරු විමසීම් සඳහා පත් කර ඇති තොරතුරු නිලධාරිනී රුක්ෂාණා රිස්වි මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඇය පවසා සිටියේ අදාළ පළාත් ක්‍රිකට් සංගම් වෙත මේ වනවිටත් වේතන සඳහා මුදල් යොමු කර ඇති බවයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීන්දුවක් ගෙන තිබෙනවා ජනවාරි මස පළමු වැනිදා සිට පරිපාලන බලතල පළාත් වෙත ලබාදීමට. ඒ අනුව සේවකයන් සම්බන්ධ කාරණා හා වේතන ලබාදීම, ඔවුනගේ වෙනත් ප්රතිලාභ ලබාදීම සිදුවන්නේ පළාත් වලින්. කෙසේ වෙතත් මේ වනවිටත් අදාළ වේතන ප්‍රමාද කිරීමකින් තොරව නිසි පරිදි පළාත් සංගම් වෙත යොමුකර තිබෙනවා'' යැයි ඇය සඳහන් කළාය.