ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ඉතිහාසයේ ප්‍රථම වතාවට ශූරතාව සන්රයිසස් කණ්ඩායමට හිමිවිය. ඒ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුතු රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම නොසිතූ අයුරින් පරාජයට පත්කරමිනි.
මෙම තරගාවලිය පුරාවටම චැලේන්ජර්ස් කණ්ඩායම ඉතා දක්ෂ ලෙස ලකුණු අතරට පැමිණි බැවින් කණ්ඩායම සේම, බොහෝ ක්රීඩාලෝලීහුද සිතුවේ, ඔවුන් අයි.පී.එල්. ශූරයන් වනු ඇති බවයි.
නමුත් මැයි 29 වැනිදා චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැති සන්රයිසස් හා චැලේන්ජර්ස් අතර අවසන් මහා සටනේදී චැලේන්ජර්ස් කණ්ඩායම් නායක විරාට් කෝලි ඇතුළු කණ්ඩායම් ක්‍රීඩකයන්ගෙන් අයි.පී.එල්. කිරුළු ගිලිහී ගිය අතර, බොහෝදෙනාගේ මතය වූයේ, තමන් පිළිබඳව තිබූ අධිතක්සේරුව නිසාවෙන් චැලේන්ජර්ස් වෙතින් ශූරතාව ගිලිහී ගිය බවයි.
අවසන් තරගය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයට අදහස් දක්වමින් කෝලි පවසා සිටියේ, තමන් අවසන් තරගය පීඩනයකින් තොරව ක්‍රීඩා කරන බවයි. ඒ අනුව කෝලි තුළ ශූරතාව තමා සතු කණ්ඩායමට හිමිවේ යැයි තිබූ අධික විශ්වාසය හා එය එතරම් තරගයක් නොවන බව නිසාත් ඔවුන්ගෙන් කිරුළ ගිලිහී ගියේය. මේ අනුව තෙවැනි වරටත් අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට සිදුවිය.
කෙසේ වෙතත් මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස ලකුණු 973 ක් ලබාගත් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම් නායක විරාට් කෝලි සම්මාන දිනා ගත් අතර, තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් ලෙස ඩේවිඩ් වෝනර් (ලකුණු 848), ඒ.බී. ඩිවිලියර්ස් (ලකුණු 687), ශීකර් දවාන් (ලකුණු 501), ගෞතම් ගාම්භීර් (ලක්ණු 501) කැපී පෙනෙන්නට වූහ.
එමෙන්ම තරගාවලියේ කඩුලු දවාගත් ක්‍රීඩකයන් ලෙස බුවනේෂ්වර් කුමාර් (කඩුලු 23), යුස්වෙන්ද්‍ර චහාල් (කඩුලු 21) සහ ෂේන් වොට්සන් (කඩුලු 20) නම් කෙරිණි. එසේම තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස රෝයල් චැලේන්ජර්ස්හි ඒ.බී. ඩිවිලියර්ස් ගුජරාට් ලයන්ස් හා මැයි 14 පැවැති තරගයෙන් පන්දු 52 කට ලකුණු 129 ක් ලබා ගනිමින් තරගාවලියේ කැපී පෙනෙන්නට විය.
මීට අමතරව සන්රයිසස් කණ්ඩායමේ මුස්තාෆිසූර් රෙහමාන් නැගී එන ක්‍රීඩකයා ලෙසින්ද, ඒ.බී. ඩිවිලියර්ස් දක්ෂම පන්දු රකින්නා ලෙසින්ද සම්මාන දිනා ගත්හ.
අයි.පී.එල්. තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් සහභාගී වූ අතර, අප්‍රේල් 09 වැනිදා සිට ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 29 වැනිදායින් අවසන් විය. ඒ අනුව සමස්ත තරගාවලියේ ගුජරාට් ලයන්ස් තරග 09 ක් ජයගත් අතර, රෝයල් චැලේන්ජර්ස් තරග 08 ක්ද, සන්රයිසස් තරග 08 ක්ද, කොල්කටා නයිට් රයිඩර්ස් තරග 08 ක්ද, මුම්බායි ඉන්දියන්ස් තරග 07 ක්ද, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් තරග 07 ක්ද, රයිසන් පූනේ තරග 05 ක්ද, කින්ග්ස් එළවන්ස් පන්ජාබ් තරග 4 ක්ද ජයග්‍රහණය කරන්නට විය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ රයිසින් පූනේ කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරායි.
ෂෙහානි දිල්රුක්ෂිකා