මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (07) නිකිණි පෝදා වීදි සංචාරය කෙරේ. ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ මේ සටහන ඒ වෙනුවෙන්.
දළදා වහන්සේ පෘතුග්‍රීසීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දෙල්ගමුවේ කුරහන් ගලක් තුළ වසර 43ක් සඟවා තබා පළමු වරට සෙංකඩගල පුරවරයට (මහනුවරට) දළදා වහන්සේ වැඩම වූ මහනුවර ගෙඩිගේ රාජ මහා විහාරය එදා පටන් අද දක්වා දළදා වහන්සේ අතර ගෙඩිගේ විහාරය හා ඓතිහාසික සබැඳියාවක් පවතින බව පොළොන්නරුව සොළොස්මස්ථාන රාජ මහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති ගෙඩිගේ රාජ මහා විහාරාධිකාරී වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක හිමියෝ පැවසූහ.
වර්ෂ 1312 සෙංකඩගලපුර අස්ගිරි මහා විහාරය ආරම්භ වූයේ මෙම ගෙඩිගේ විහාරයට ආසන්න භූමියක බව ප්‍රකට කරුණකි.
ක්‍රි.ව. 1347 – 1375 සමයේ ගම්පොළ රජකම් කළ තෙවන වික්‍රමබාහු රජු විසින් තම මෑණියන් වූ අස්ගිරි දේවිය හෙවත් චන්ද්‍රාවතී බිසව සිහිපත් කිරීමට ක්‍රි.ව. 1364දී මෙම විහාරය ඉදි කොට ඇත.
චන්ද්‍රාවති දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානය ආදාහන මළුව නමින් හැඳින්වෙන අතර පසුව ගම්පොළ විසූ තෙවන වික්‍රමබාහු රජු එම භූමියේ ගෙඩිගේ විහාර සම්ප්‍රදායට අනුව විහාරයක්ද, ශෛලමය සමාධි ප්‍රතිමාවක් හා සංඝාවාසයක් ඉදි කර භික්ෂූන් වහන්සේලාට පූජා කළේය.
අතීතයේ මෙම විහාරයෙහි මළු තුනක් පැවැති අතර මැද මළුවෙහි අස්ගිරි මහා විහාරයේ මහා තෙරුන් වහන්සේලාගේ ආදාහන කටයුතු කිරීමට සම්මතව තිබූ අතර මෙහි ආදාහන කටයුතු සිදු වූ බැවින් ආදාහන මළුව නමින් ද හැඳින්වේ.මහනුවර නගරය අභ්‍යන්තරයේ ඇති ගෙඩිගේ සම්ප්‍රදායට අයත් එකම විහාරය වන නිසාත් හෙළ රජ දවස සිටම පැවත එන නිසාත් මෙය මහනුවර ගෙඩිගේ රාජමහා විහාරය නමින් හඳුන්වනු ලැබේ
ක්‍රි.ව. 1552 පෘතුග්‍රීසීන්ගෙන් දළදා වහන්සේ රැකගනු සඳහා කෝට්ටේ විසූ හිරිපිටිය නිලමේ විසින් සීතාවක මායාදුන්නේ රජුට දළදා වහන්සේ භාර කර පසු ආරක්ෂාව පිණිස දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමුවට වැඩමවා එහි කුරහන් ගලක් සාදවා එහි සඟවා තැබූ බව ප්‍රකට කරුණකි. පසුව දළදා වහන්සේ මහනුවරට වැඩමවන තෙක් වසර 43ක් පුරාවටම දෙල්ගමුවේ කුරහන් ගල තුළ දළදා වහන්සේ ආරක්ෂිතව වැඩ සිටියහ.
පසුව දෙල්ගමුවේ සිට දළදා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම වූයේ අස්ගිරි මහා විහාරවාසී ඇල්ලේපොල මංගල හිමියන් ප්‍රධාන රාජකීය ආරක්ෂක පිරිසක් විසින් වන අතර එසේ වැඩමවා ගෙනවිත් සෙංකඩගල පුරවරයේ ප්‍රථමයෙන්ම දළදා වහන්සේ වැඩ සිටියේ මෙම ගෙඩිගේ රාජ මහා විහාරයේය.
පසුව මහනුවර ශ්‍රී දළදා මන්දිරය ගොඩනගා නිමාවන තෙක් දළදා වහන්සේ මෙහි වැඩ සිටින අතර මහනුවර දළදා පුද සිරිත්වල ආරම්භය සිදු වූයේද මෙම විහාරය මුල් කොට ගෙනය. මෙසේ දළදා වහන්සේ මහනුවරට වැඩම වූ මුල් දිනයේ පටන් අද දක්වාම ගෙඩිගේ විහාරය හා දළදා වහන්සේ අතර ඓතිහාසික සබැඳියාවක් පවතින බවත් නාහිමියෝ පැවැසූහ.
දළදා වහන්සේ ගෙඩිගේ විහාරයෙහි වැඩ සිටි බව සිහිපත් කිරීමට වර්තමානයේ ඇසළ මංගල්‍යයයේ අවසන් දින පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට පෙරහරින් වඩමවනු ලබයි.පසුදින දහවල් දිය කැපීමෙන් පසුව පෙරහර කරඬුව නැවත මාළිගයට වැඩම වන තෙක් ගෙඩිගේ රාජමහා විහාරයෙහි තැන්පත් කර පවතින අතර එහි වගකීම සහ භාරකාරත්වය අස්ගිරි මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අස්ගිරි විහාරවාසී භික්ෂූන් වහන්සේලාට පැවරේ. පවත්නා රජය විසින් එහි ආරක්ෂාව සැලසීමට ප්‍රධාන පොලිස් නිලධාරීන් ද යොදවනු ලැබේ.
පෙරහර කරඬුව ඇතු පිටින් වඩමවා ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේ වරයාගේ නිර්දේශයෙන් එහි ආරක්ෂාව සඳහා බස්නායක නිලමේ වරයෙකු පත්කරන අතර භික්ෂූන් වහන්සේලාගේ සහායට පල්ලේමාලේ රාළ පත් කරනු ලබයි. එසේම ශබ්ද පූජා අඛණ්ඩව සිදු කිරීමට කවිකාර මඩුව ඇතුළු හේවිසි වාදකයන් (පනික්කියන්) පත් කරනු ලැබේ.
දළදා මාළිගාවේ සිදු කරන සියලු තේවා විධි මාළිගාවේ රාජකාරි කරන පිරිස විසින්ම සිදු කරනු අතර මුළුතැන් පූජාව දළදා මාළිගාවේ සිටම හේවිසි සහිතව රැගෙන එනු ලබයි.
දළදා මාළිගාවේ දළදා වහන්සේ උදෙසා පවත්වන පුද සිරිත් සියල්ල මෙහිදී දැකගත හැකි අතර දළදා මාළිගාව හැරුණුකොට එසේ පුද සිරිත් දළදා වහන්සේ සඳහා ඉටු සිදු කරන එකම ස්ථානය අස්ගිරි - ගෙඩිගේ රාජ මහා විහාරයද වේ.එසේම දළදා පෙරහර ලක්දිව වෙනත් කිසිදු විහාරස්ථානයක් කරා ගමන් නොකරන අතර එසේ ගමන් කරන එකම ස්ථානය ද ගෙඩිගේ රජ මහා විහාරයයි.
මෙවන් වැදගත්කමකින් යුත් අස්ගිරි මහා විහාරයීය ගෙඩිගේ රාජ මහා විහාරයට මෙදිනට පැමිණෙන බෞද්ධ ජනතාව දළදා වහන්සේ උදෙසා සිදු කරනු ලබන විවිධ පුද සත්කාර ඉටුකොට පින් රැස්කර ගැනීම අතීතයේ සිටම අඛණ්ඩව සිදු කරති.
තොරතුරු - අස්ගිරි මහා විහාර තරුණ භික්ෂු සංගමය මගිනි.