ලෝක සංරක්ෂණ තත්ත්ව කාණ්ඩයට අනුව අඩු අවධානයට ලක් වු බොර වන බකමුණා නොහොත් දුඹුරු කැලෑ බස්සා (Brown wood Owl- Strix leptogrammica) යන නමින් හඳුන්වනු ලබන දුර්ලභ බකමුණු පැටවෙකු ගෙවත්තක වැටී සිටියදී හමු වූ බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා පැවැසීය.
මෙම බකමුණු වර්ගය ශ්‍රී ලංකාව තුළ පහතරට තෙත් කාලාපයේ, වන ලැහැබින් පිරි කඳුකරයේ, සිංහරාජ, බෝධිනාගල, උඩවත්ත යන කැලෑවන් තුළත්, තිස්සමහාරාම වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත්, මෙරට බස්සන් අතර මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් හිමි හොදින් වැඩුණු පසු සෙන්ටිමීටර් 45-56ක ශරීර ප්‍රමාණයකින් හා කිලෝග්‍රෑම් 1.8ත් 2.3ත් අතර බරකින් සමන්විත ගැඹුරු කළු දීප්තිමත් ඇස් යුගලයක් හිමි අයෙකු බව හෙතම කීය.
මෙම පැටවා බොහෝ විට ආහාර තරගයේ යෙදෙන අනෙකුත් පැටවුන් අතරින් බිමට වැටෙන්නට ඇති බවත්, එවැනි අවස්ථාවක මෙවැනි පැටවුන්ට බොහෝ විට සිදු වන්නේ වෙනත් සතෙකුගේ ගොදුරක් බවට පත්වීම හෝ නිරාහාරව මියයෑම බවද කුමාර මහතා කීය.
තමාට හමු වූ මෙම දුර්ලභ බොර වන බකමුණු පැටවා සුරක්ෂිත කොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය රෝහල හරහා රන්දෙණිගල වනජීවී මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ


