දවල්ට අව්ව - රෑට අලි, පීඩාව දරාගෙන වැවූ අස්වැන්නට මිලක් නැතිව රජරට ගොවියෝ ලතැවෙති
පසුගිය කාලයේ ගෝලීය දේශපාලන අර්බුද හමුවේ පැන නැඟුණු ඉන්ධන අර්බුදය හේතුවෙන් දැඩි ලෙස බැට කෑ රජරට එළවළු ගොවීන්, වර්තමානයේ තම අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් වගා බිම් අත්හැර යාමේ අවදානමකට මුහුණ දී සිටිති. දවල් කාලයේ දැඩි හිරු රශ්මිය දරාගෙන මහපොළොව සමඟ ගැටෙමින් වගා කරන මෙම ගොවීන්ට, රාත්‍රී කාලයේදී රජයේ විදුලි වැටවල් ද කඩාගෙන ගම්වදින වන අලින්ගෙන් වගාවන් බේරා ගැනීමට නිදි වැරීමට ද සිදුව ඇත.
ගලෙන්බිඳුනුවැව අංක 186 යකල්ල ග්‍රාම සේවා වසමේ මහසෙන්පුර සහ උල්පත්පාර යන ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ ප්‍රවාහන ගාස්තු දිනෙන් දින වෙනස් වෙමින් ඉහළ ගියද, තමන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යන එළවළු සඳහා ලැබෙන මිල ඉතා පහළ මට්ටමක පවතින බවයි.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද දින මිල දර්ශනයට අනුව රජරට ප්‍රදේශයේ බහුලව වැවෙන එළවළු කිහිපයක තොග මිල පවතින්නේ මෙසේය:(තක්කාලි රු. 50-60), (බටු රු. 50-70), (වට්ටක්කා රු. 35-40), (කැකිරි රු. 30-50), (රාබු රු. 30-50), (පිපිඤ්ඤා රු. 70-80)
මෙම තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ ගොවීන් සහ ගොවි කාන්තාවන් කිහිප දෙනෙකු සිය අදහස් මෙසේ පළ කළහ:
රේණුකා මල්කාන්ති මහත්මිය:
"අපි ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. අද තක්කාලි කිලෝවක් රුපියල් 50යි 60යි වෙන්නේ. හැබැයි පාරිභෝගිකයා ඒක රුපියල් 200ක් 300ක් දීලා ගන්න ඕනේ. මේ වාසිය යන්නේ අතරමැදියන්ට විතරයි. අපි රෑට වන අලින්ගෙන් වගාව බේරගන්න නිදි මරනවා. මේ හැම දුකක්ම වින්දට අන්තිමට අපිට ඉතිරි වෙන්නේ ණය විතරයි."

යූ. පියසේන මහතා:
"කෘෂි රසායනික ද්‍රව්‍ය මිල අහස උසට ගිහින්. බෙහෙත් බෝතලයක් ගන්න ගියත් මහා මුදලක් යනවා. අපේ මහන්සියට හරි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අතරමැදියෝ සහ රසායනික වෙළෙන්දෝ පෝෂණය වෙන මේ ක්‍රමය දිගටම තිබුණොත් ගොවියා වගාවෙන් ඉවත් වෙනවා."

ඩබ්ලිව්. එම්. නන්දාවතී මහත්මිය:
"වතුර ප්‍රශ්නයත් එක්ක අමාරුවෙන් මේ ටික හදාගන්නේ. අස්වැන්න කඩනකොට මිලක් නැහැ. ලබන කන්නයේ වගා කරන්න අතේ සතේ නැති තත්ත්වයක් තියෙන්නේ."
"දවල්ට අව්වේ කරවෙන අපිට ලැබෙන මිලෙන් ප්‍රවාහන ගාස්තුවවත් පියවා ගන්න බැහැ. අපි මේ රස්සාව අතහැරියොත් ඉදිරියේදී රටේ මිනිස්සුන්ට කන්න එළවළු ටිකක් නැති වෙන එක නවත්තන්න බැහැ."
"ඉස්සර ඉන්ධන අර්බුදය නිසා පීඩා වින්දා, දැන් මිල වැඩිවීම නිසා පීඩා විඳිනවා. අපි මේ වගා බිම්වල රෑට වැස්සට තෙමි තෙමී වන අලි එක්ක සටන් කරලා ලැබෙන සොච්චම් මිලෙන් ජීවත් වෙන්න බැහැ."

ප්‍රදේශයේ පදිංචි ගොවි කාන්තාවන් (ගෙවලියන්) ද පෙන්වා දෙන්නේ පවතින ආර්ථික පීඩනය හමුවේ තමන් දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇති බවයි. මිල පහත යාමේ වාසිය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබෙන, අතරමැදියන් පමණක් පෝෂණය වන මෙම අසාධාරණ වෙළඳ ක්‍රමය වහා නිවැරදි කර ගොවියා රැකගැනීමට බලධාරීන් මැදිහත් විය යුතු බව ගලෙන්බිඳුනුවැව ගොවීහු වැඩිදුරටත් අවධාරණය කරති.
ගලෙන්බිඳුනුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
