දිනපතා රිය අනතුරු සිදුවීම, ජනතාව අමානුෂික ලෙස ඝාතනය වීම, රාජකාරි කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන්ට අසාධාරණකම් සිදුවීම පිළිබඳව පසුගිය කාලයේදී අපේ රටෙන් අසන්නට ලැබුණු වාර බොහෝය. මීට අමතරව පොලිස් අත්අඩංගුවේදී සැකකරැවන් මියයාම, පනවා තිබෙන නීති ක්‍රියාත්මක නොවීම ආදිය පිළිබඳවද නිරතුරැවම අපට අසන්නට ලැබේ. 'අද' අපි මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සමග කතාබහක නිරතවීමු.
අවාසනාවන්ත රිය අනතුරැ පිළිබඳව දිගින් දිගටම අපට අසන්නට ලැබෙනවා නේද?
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිදුවුණු රිය අනතුරඅවල ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. මොකද ගිය වසරේ රිය අනතුරු 42,000 ක් සිදුවෙලා තියෙනවා. ඒත් මේ වසරෙදි එතරම් රිය අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙන්නෙ නැහැ. නමුත් බස්රථවල සිදුවුණ අනතුරු ප්‍රමාණය යම් තරමකින් ඉහළ ගිහින් තියෙනවා. උදාහරණයක් කියනවා නම් බණ්ඩාරවෙල රිය අනතුරෙන් 10 ක් මියගියා. මහනුවර තලාතුඔය ප්‍රදේශයේදී 05 දෙනෙක් මියගියා.
මේ ආකාරයට රිය අනතුරු සිදුවෙන්නේ ඇයි? මේ සඳහා බලපාන හේතු මොනවද?
රිය අනතුරක් සිදුවීමේදී ආකාර කිහිපයකින් එය සිදුවෙන්න පුළුවන්. එක් අවස්ථාවකදී රියදුරැගේ 75% ක වරදකින් සහ මගීන්ගේ 25% ක වරදකින් රිය අනතුරක් වෙන්න පුළුවන්. සාපේක්ෂ වශයෙන් බොහෝ රිය අනතුරුවලට රියදුරන් වගකිවයුතුයි. මීට අමතරව රථවාහන කාර්මික දෝෂ නිසා සහ මාර්ගයේ ලිස්සායාම් නිසාත් අනතුරු සිදුවෙනවා.
වැරදි කරන රියදුරන්ට ලකුණු ක්‍රමයක් යටතේ දඬුවම් කරන නීතියක් ක්‍රියාත්මක වුණා. එහි වර්තමාන තත්ත්වය කොහොමද?
ඒකට අධිකරණයයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි, පොලීසියයි සම්බන්ධ වෙන්න ඕන. ඒකෙ යටිතල පහසුකම තව වර්ධනය වෙන්න ඕන. ඒ කියන්නෙ පරිගණක හරහා අන්තර්ජාල සම්බන්ධතා වැනි ක්‍රමවේදයක් හරහා යටිතල පහසුකම් ටික තව දියුණුවෙන්න ඕන. ඒ පිළිබඳවත් මේ වනවිට අවධානය යොමුවෙලා තියෙනවා.
රිය අනතුරු අවම කරගැනීම සඳහා මෙය ප්‍රායෝගිකද?
අනිවාර්යයෙන්ම රිය අනතුරු අවම කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ලකුණු ක්‍රමය යටතේ වැරදි කරන ප්‍රමාණය වැඩිවුණාම ඉබේම රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා. මට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන්. යම් රියදුරෙකු නුවර ගිහිල්ලා කොළඹට එනකොට වැරදි දෙකතුනක් කළොත් ඔහුට සමහරවිට වර්ෂයකට රිය බලපත්‍රය අහෝසි වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා රියදුරන් ඒ පිළිබඳව බොහෝ සැලකිලිමත් වේවි.
ත්‍රිරෝද රථවල ගමන්කළ හැකි ප්‍රමාණය සීමාකරලා නීතියක් පැනවුවත්, එය ක්‍රියාත්මක වෙන බවක් පේන්න නැහැ නේද?
ඒ වගේ නීතියක් පැනවූ විගසම ඒ තුළින් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. අනිත් එක තමයි මාධ්‍යයෙන් මේ නීතිය දිගින් දිගටම අවතක්සේරුවට ලක්කළා. ඒ කියන්නෙ මේ නීතිය ක්‍රියාත්මක කළේ පුංචි මිනිහට ගහන්න තමයි සහ මේක වෙනත් ටැක්සි වර්ගයකට අතවැනීමක් සඳහා තමයි කරන්නෙ කියලා මාධ්‍ය විසින් මහජන මතයක් ගොඩනැගුවා. ඒක නිසා තමයි ඒක අඩපණවෙලා තියෙන්නෙ.
මාර්ග අනතුරු අවම කරන්න පොලීසිය මෙනවගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නෙ?
මාර්ග අනතුරැ අවම කරන්න පොලීසිය එක පැත්තකින් නීති ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නෙ වැරදි කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක. අනිත් දේ තමයි පොලීසිය රියදුරන් දැනුවත් කිරීම. ඒ සඳහා රථවාහන පිළිබඳ සම්මන්ත්රණ පවත්වනවා. ඒ වගේම මාර්ගය අබලන් නම්, මාර්ග සංඥා අපැහැදිලි නම්, ඒවා මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභා එකතු කරගෙන නියමිත ප්‍රමිතියකට සකස් කරන්න කටයුතු කරනවා. මේ ආකාරයට තමයි මාර්ග නීති අවම කරන්න පොලීසිය මැදිහත් වෙන්නෙ.
මාර්ග නීති ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය ජනතාවගේ රථවාහනවලට එක නීතියකුත්, දේශපාලඥයන්ගේ සහ ප්‍රභූවරුන්ගේ රථවාහනවලට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා කියලත් පොලීසියට චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබේ මතය කුමක්ද?
වර්තමානයේ එහෙම තත්ත්වයක් නැහැ. පොලීසිය හැමෝටම රටේ පවතින නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනවා. ඒකටත් මම උදාහරණයක් කියන්නම්. අද වනවිට වී.වී.අයි.පී කියලා වාහනය ඉදිරිපස ගහගෙන ගියත්, එම රථවලින් නීති විරෝධී කටයුත්තක් හෝ සෝදිසි කිරීමක් කරන්න ඕන වුණොත් ඒ දේ සිදුකරනවා. ඒකෙන්ම පැහැදිලි වෙනවනෙ නීතිය කාටත් එක සමානයි කියල.
මාර්ග අනතුරු අවම කරගන්න ජනතාවගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත්ද?
කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. පොලීසිය මාර්ග අනතුරු අවම කරන්න හැමවිටම මහජනතාව දැනුවත් කරනවා. මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කරන්න මාර්ගය හරහා යනකොට කහ ඉර භාවිත කරන්න කියල. ඒ වගේම මාර්ගය හරහා යාමේදී දුරකථන භාවිත කරන්න එපා කියලත් කියනවා. මේ හැමදෙයක්ම පොලීසිය ජනතාවට කියන්නෙ ජනතාව සමග තියෙන තරහට නෙවෙයි, හැබැයි බහුතර ප්‍රමාණයක් මේ නීති පිළිපදින්නෙ නැහැ.
පොලිස් අත්අඩංගුවට පත්වෙන සැකකරුවන් පොලීසිය තුළ හෝ අත්අඩංගුවේ සිටියදී මියයන්න පුළුවන්ද?
ඔව්, මිය යන්න පුළුවන්.
ඒ කියන්නෙ පොලිස් අත්අඩංගුව තුළ සැකකරුවෙකුට ආරක්ෂාව නැහැ කියන එකද?
එතනදි එහෙම දෙයක් කියවෙන්නෙ නැහැ. හැබැයි සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවේදී ආකාර තුනක් මත මියයන්න පුළුවන්. පළමු කාරණාව තමයි ස්වාභාවික හේතු නිසා මියයන්න පුළුවන්. දෙවැනි කාරණය තමයි සැකකරු විසින් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත්කිරීමේදී. අනිත් කාරණාව තමයි සැකකරු පොලීසිය සමග ගැටුමක් ඇති කරගතහොත්, පොලීසිය ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීම නිසා යුක්ති සහගත ක්‍රියාවකින් මියයන්න පුළුවන්. මේ තුන් ආකාරයෙන් කෙනෙකු මියයන්න පුළුවන්.
දිගින් දිගටම අපරාධවල ඉහළ යාමක් පෙන්නුම් කරනවා නේද?
පසුගිය වසරට සාපේක්ෂව අපරාධවල අඩුවක් පෙන්නුම් කරනවා. මනුෂ්‍ය ඝාතන බැලුවොත් වසරකට 700 ක් විතර වාර්තා වෙනවා. මේ වසරේ මේ වනවිට වාර්තා වෙන්නෙ මනුෂ්‍ය ඝාතන 450 ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම ගෙවල් බිඳුම්වල, අපරාධවල අඩුවීමක් පෙන්නුම් කරනවා
දේශපාලඥයෙක් වරදක් කළාම එක් නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා කියලත් පොලීසියට එරෙහි චෝදනාවක් එල්ලවෙනවා.
එහෙම දෙයක් නැහැ. අපි බැලුවොත් මෑත කාලෙ ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයන් යම් යම් වරදවල් සිදුකළ හැම අවස්ථාවකදිම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළා. මේ අනුව පෙන්නුම් කරනවා දේශපාලඥයන් වුණා කියල නීතියේ රැකවරණ ලැබෙන්නෙ නැහැ කියල.
නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ටත් අසාධාරණකම් වෙන බවත්, එහෙත් ඒ වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් මැදිහත් නොවන බවටත් පොලිස් නිලධාරීන්ම මැසිවිලි නගනවා. මේ කතාව හැබෑවක්ද?
අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. පොලිස් නිලධාරියෙකුට ඔහුගේ රාජකාරි කටයුතුවලදී යම් කෙනෙක් හෝ කණ්ඩායමක් බාධා එල්ල කළ හැමවෙලාවෙම වැරදි කරපු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. මීට අමතරව පරිපාලන ප්‍රශ්න ඇතිවෙන සෑම අවස්ථාවකදිම ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය කටයුතු සිදුකරලා තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ ආර්ථික පැත්ත බලලා ඔවුන්ට ලබාදුන්නු බොහෝ දීමනා ඉහළ දමලා තියෙනවා.
සමස්තයක් ලෙස ජනතාවගෙන් පොලීසියට ලැබෙන සහයෝගය ප්‍රමාණවත්ද?
විශේෂයෙන්ම අපරාධ වැළැක්වීමේදී තවදුරටත් ජනතාව පොලීසියට සහයෝගය ලබාදෙන්න ඕන. ඒත් යම් යම් අවස්ථාවල ඒ තත්ත්වයේ බිඳවැටීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපි පසුගිය දිනවල දැනුවත් කළා ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලඥයන්ගේ නම් විකුණලා ජාවාරම් සිදුවෙනවා, ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා. ඒත් දිගින් දිගටම ජනතාව මෙම ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවලට හසුවෙනවා.
ඒ වගේම පොලීසියේ රාජකාරිය තමයි අපරාධ විමර්ශනය කිරීම. හැබැයි ජනතාවගේ වගකීම තමයි අපරාධ වළක්වාගැනීම. ඒ කියන්නෙ ගෙවල් දොරවල් ඇරලා දාලා යනවා නම්, දූ දරුවන් තනියෙන් ගමන් බිමන් යවනවා නම්, රාත්‍රී කාලයේ ගැහැනු ළමයි විවිධ ස්ථානවලට යවනවා නම් එතනදි අපරාධයක් වෙන්න පුළුවන්. මේ දේවල් වළක්වාගැනීමට ජනතාව දායකත්වය දෙන්න ඕන.