සිංහලයේ මහා රාජධානියේ දොරටු හැර විනාශය කඩුල්ලෙන් පැන එයිද?
සංස්කෘතික වටිනාකම අතින් ඉහළ තැනක සිටින ශ්‍රී ලංකාවේ උරුමයේ නගරය වන්නේ අනුරාධපුරයයි. දැවැන්ත ශිෂ්ටාචාරයකට අඩිතාලම තැනූ අනුරාධපුර රාජකීය නගරයේ අතීත විභූතිය නටබුන් අතර අදටද අභිමානයෙන් නැගී සිටියි. එහෙත් ඒ අභිමානය අභියෝගයට ලක්කරන අනාගතයකට මේ වනවිටත් මංපෙත් යොමුවෙමින් තිබේ. මේ අනුව පෙනී යන්නේ සිංහලයේ මහා රාජධානියට කණකොකා හඬන කාලය නුදුරු බවද?
මෙරට ප්‍රථම ඓතිහාසික රාජධානිය වූ අනුරාධපුර දිගු කාලයක් පැවති රාජධානියද විය. වසර 1500 කට ආසන්න කාලයක් එනම් සියවස් 15 ක් පැවති එම රාජධානිය විනාශ වීමට හේතුකාරණා කිහිපයක්ම බලපෑවේය. විදේශ ආක්‍රමණ, පාලකයන්ගේ දුබලතා, ගමත් පන්සලත් අතර බැඳීම දුරස් වීම, පාලකයා බුදුදහමින් ඈත්වීම, ජනගහනය වැඩවීම, පෝෂිත ප්‍රදේශ සීමිතවීම ආදී හේතු මත බිඳවැටුණු මේ දැවැන්ත නගරයෙන් පසු රාජධානි සියල්ල නිරිත දිගට සංක්‍රමණය විය.
එදා ඒ ශ්‍රී විභූෂිත නගරයේ ඇතුළු නුවර, පිටත නුවර, ගම්, ජනපද ආදී විශාල පරාසයක විශාල පිරිසක් ජීවත් වූහ. රජවරු සියගණනක් සිහසුන දැරූහ. අදටද අනුරාධපුර භූමියේ සරද්දී මැවෙන ප්‍රතාවත් ඉතිහාසයේ සිට වර්තමානයට පැමිණීම වූ කලී අතිශයින්ම වේදනාකාරීය. සංවර්ධනය, නව වෙළෙඳ නගර කාර්යබහුල වටපිටාවකට යෝග්‍යය. නමුත් අනුරාධපුරය වැනි රටක් සශ්‍රීක ලෙස සහලින් ස්වයංපෝෂිත කළ හැකි, දහස් ගණනක් සිත්සතන් ශාන්තියෙන් නිවාලිය හැකි උත්තරීතර වටපිටාවකට එය අනුචිතය. එය වූ කලී ගමත් පන්සලත් අතර පැවතියා වූ සංයමයෙන් පිරි බැඳීම වෙන්කොට බඳින ඉතා උස් වූ බැම්මකි.
එහි අනාගත ප්‍රතිඵල කිවයුතු නොවන අතරම සංස්කෘතියේ බල නහරයට එල්ල කරන දැවැන්ත ප්‍රහාරය සංස්කෘතියේ සමස්ත ජීව ගුණය අඩාළ කරදමනු ඇත. එය ඉඟිකරන්නේ අනාගත පූජා භූමියක නිසසල, ශාන්තබව, කර්කෂ ව්‍යාපාරික ලෝකයේ සෙවණැල්ල විසින් ගොදුරු කරගනු ඇති බවයි.
වසර දහස් ගණනකට පෙර රජවරුන් ඉදිකළ වෙහෙර විහාරවල නටබුන් අදටද ඉතිරිව ඇති අතර, අපට දැවැන්ත සංස්කෘතියක් තිබුණා යැයි ගිරිය පුප්පා හඬතලන්නන්ට සාක්ෂි ලෙස ඇත්තේද ඒවා පමණි.
එදා තැනූ වෙහෙර බිමේ අදටද භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නේ එම උරුමය සුරක්ෂිතව තබාගන්නටත්, එදා කසාවතින් වැසීගත් අනුරාධපුර උතුම් භූමියේ පූජනීයත්වය රැකගන්නටත්ය. එහෙත් ඒ නටබුන් සමතලා කොට පුරාවිද්‍යා උරුමයන් මත දැවැන්ත කොන්ක්‍රීට් ප්‍රාසාද ඉදිකරන මහානායක හාමුදුරුවන්ද නැතුවා නොවේ. තහංචි, බාධා ඉවත්කොට වසර ගණනක නටබුන් ගලවා ඉවත් කර ශුද්ධ පවිත්රකොට සුරසැප විඳින උන්වහන්සේලා නිසා අනාගත අනුරාධපුර පූජා නගරයේ ඇතැම් විට බලන්නට දෙයක් ඉතිරි නොවනු ඇත. රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය වැනි ථූප ඉතිරිව තිබියදී ඒවටා සත්මහල් ප්‍රාසාද තනා පෙරකී පූජනීය වස්තු අලෙවිකොට මුදල් සොයන්නට 'පිං කැට' තබා 'නම්බුකාර සොරු' අනුරාධපුරයේ මුල් බැසගතහොත් එය මුලිනුපුටා දැමිය නොහැකි තර්ජනයක් වනු ඇත.
නිය පොත්තෙන් කඩන්නට ඇති දේ පොරවෙන් කපන්නට වන්නේ තවත් වසර දහයක් පහළොවක් ගිය තැනෙහිදීය. කාමසුඛල්ලිකානු යෝගයෙන් මිදී මධ්‍යම ප්‍රතිපදාවේ හිදින බුද්ධ ශ්‍රාවකයන්ගේ අගය දැනෙන දා වනවිට අනුරාධපුර පූජා භූමියත් හදවත් තුළ ඉතිරි වූ නටබුන්ම වේ දැයි යන පැනය අනාගතයට ඉතිරිව තිබේ. අනුරාධපුරයට එන දහස්ගණන් බැතිමතුන්ගේ පහසුව තකා අදාළ විශ්‍රාමශාලා ක්‍රමවත්ව ඉදිනොවීම නගර විනාශයට කාරණයක් වනු ඇත. අක්‍රමවත් කැළිකසළ බැහැර කිරීම මෙන්ම මළමුත්‍රා අක්‍රමවත් ලෙස බැහැර කිරීමත් අනුරාධපුර නගරයට තර්ජනයක් වනු ඇත. පාලකයන් ඇස්හැරිය යුතු වන්නේ එබැවිනි.
උචිත දේ උචිත තැනට දෙනවා නම් සංවර්ධනය අරුමයක් නොවේ.
විශ්‍රාම ශාලා මිස සුපිරි පන්තියේ 'රෙස්ටොරන්ට්', 'ගෙස්ට් හවුස්', 'බාර්' අනුරාධපුරයට ගැළපෙන්නේ නැත. අනුරාධපුරය වූ කලී අඟලක් අඟලක් පාසා උරුමය, සංස්කෘතිය ලැඟුම්ගත් බිමක් මිස විනෝදයෙන් මධුසමයට යන හෝ 'ආතල් ගන්නට' යන බිමක් නොවේ. යන මිනිසුන් හා ඉන්නා මිනිසුන් තුළ ගෞරවය, භක්තිය නොවේ නම් එය බලෙන් හෝ ඇතිකළ යුතුය. කුමක් හෙයින්ද යත් යන ගමන ගියහොත් පූජා භූමියක් නොව 'අනුරාධපුර සුපර් සිටි' එකක් ඉතිරි වනු ඇත. අපට වසර ගණනක ඉතිහාසයක් ඇතැයි පම්පෝරි ගසා එහි තැනින් තැන සවලෙන් ගොඩට ගන්නට ඉඩදීම අනාගතයට ඒ තරම්ම සුබ ලකුණක් නොවේ. සංවර්ධන ඉලක්ක වටහා ගැනීමත් ප්‍රදේශයේ පරිපාලනය ඊට අනුගත වීමත් අතිශය වැදගත් අතර, මූල්‍ය කළමනාකරණය නිසිලෙස සිදුකිරීමද අත්‍යවශ්‍ය කරුණකි.
'දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති මේවච
පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ'
බුද්ධ දේශනය අනුරාධපුර රාජධානි සමයේ පාලකයන්ගේ තේමාවක්ම විය 'කල් වැසි වසීවා - කෙත්වතු සාර වේවා - සැම සිත් නිවේවා - රජය දැහැමෙන් ලොවැඩ වේවා' යැයි ඔවුහු පැතූහ. එහෙත් වර්තමානය වනවිට අනුරාධපුරය ආශ්රිත වියළි කලාපයට එක්කෝ අනපේක්ෂිත වැසිය. එසේත් නොවේ නම් අනපේක්ෂිත නියංය.
වැසි ලැබේයැයි සිතා වපුරා කෙතේ අස්වැන්න නෙළන්නට නොතබා වැහි බිඳක් හෝ නොපැමිණ නියං පැමිණේ. මේ පූජනීය ඓතිහාසික බිමකට නුපුරු දේය. එදා වැසි කලට එක් කන්නයකුත්, නියං කල වැව් දියෙන් තව කන්නයකුත් අස්වැද්දූ මේ ප්‍රදේශයේ වැසියෝ අතරමැදි කන්නද වැපිරූහ. රටටද පිටරටටද බත් දුන්හ. එහෙත් අද ඔවුන්ට තුන්වේල කන්නටද වී ටික නොමැතිව කණකර සින්න වන තැනට වැටී තිබේ.
වැසි දිය පවා සිඳෙනවා නම් අපට තුන් කල් සසඳන්නට සිදුව තිබේ. එදා හොඳට තිබුණි. අද යාන්තම් පිරිමසාගත හැකිය. හෙට පුරන් කුඹුරු මත, හිදුණු වැව් මත අතීතයේ සුවඳ පමණක් ඉතිරි වනු ඇත. අනෙක් අතට රජරට පුරා පැතිරයන වකුගඩු රෝගයද අනුරාධපුරයේ අනාගතය පිළිබඳව යම් ඉඟිකිරීමත් කරයි. මිනිස් ජීවිත ඇදවැටෙද්දී, වසංගතයන් පැතිරෙද්දී අනුරාධපුරයේ අනාගතය කොයි අතකට පෙරළේ දැයි යන ගැටලුව ඉතිරි වේ.
සමාජ, දේශපාලන, ආර්ථික මෙන්ම ස්වභාවධර්මයද අනුරාධපුරය නම් වූ විභූතිමත් නගරය ගිලගන්නට දැන් දැන් උත්සාහ දරන්නේය. අනුරාධපුර නරගයට දැල්වෙන රතු එළිය නිවා මේ පූජනීය අගනගරය හෙට දවස වෙනුවෙන් රැකගැනීම නිලධාරීන්ගේ බලධාරීන්ගේ පමණක් නොව ගිහි පැවිදි සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක් වී ඇත.
සාකල්යා සඳමාලි / බී.ජී. චතුරංග / තිසර සමල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

