වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ කරුණු කාරණා පිළිබඳව එම ක්ෂේත්රයේ විවිධ පිරිස් විසින් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්කෙරේ. ඇතැම් කරුණු මතුපිටින් පමණක් වැඩි වශයෙන් කතාබහට ලක්කරන අතර, බොහෝ විට ඒවා මාධ්‍ය සංදර්ශන පමණක්ද යන්න පිළිබඳවද ප්‍රශ්න පවතී. මේ අතර වෛද්‍ය ක්ෂේත්රය සම්බන්ධව ගැඹුරින් කතාබහ කළ යුතු කරුණක් ගැන, එනම් අප්රසිද්ධියේ සිදුවීමට යන වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානම පිළිබඳව අපි අවධානය යොමු කළෙමු. මේ සම්බන්ධයෙන් බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය කේ.කේ.එන්.සී. ප්‍රේමරත්න මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
Q වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට සූදානම් බව ඔබ පවසන්නේ කුමන සාධක මතද?
වෛද්‍ය ආඥා පනත සංශෝධනය කරන බවට අපට දැනගැනීමට ලැබුණු ගමන්ම අපි ඒ ගැන හොයලා බැලුවා. ඒ අනුව එම සංශෝධනය සම්බන්ධයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති (AN ACT TO AMEND THE MEDICAL ORDINANCE L.D – 0.55/1015) ලේඛනය හමු වුණා. ඒඅනුව වෛද්‍ය ආඥා පනත හොර රහසේම සංශෝධනය කිරීමට සූදානම් වන බව තහවුරු වුණා.
මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමත වූ විට එය නීතියක් වෙනවා. නීතියක් වෙනස් කිරීමේදී රටේ ජනතාවට යහපතක් විය යුතුයි. නමුත් මෙයින් ජනතාවට හෝ වෛද්‍යවරුන්ට වන යහපතක් නැහැ. සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද සියල්ල මේ තුළින් ඉවත්වෙනවා. මේ කෙටුම්පත දුටුවිට අපි පුදුම වුණේ ඒ නිසයි.
Q මේ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ කවුරුන්ද?
මේ කටයුත්ත ඉතාම සුළු පිරිසක් තමන්ගේ වාසියට කරන වැඩක්. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් හා වෛද්‍ය සභාව මූලිකවම කටයුතු කරනවා. ඒ වගේම මේ සංශෝධනයේ වාසි ලැබෙන්නෙත් මේ පුද්ගලයන්ටම තමයි.
Q මොනවද ඒ වාසි?
වෛද්‍ය ආඥා පනත යනුවන් හඳුන්වන්නේ නියම කර ඇති නීති පිළිබඳවයි. එනම් සාමාන්‍යකරණය කරන ලද පොදු නීති. ඒ නිසා විශේෂකරණය සම්බන්ධ වගන්ති එයට ගැළපෙන්නේ නැහැ. මේ කෙටුම්පත එන්නෙ විශේෂඥ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ නාමාවලියක් අවශ්‍යයි කියලා දක්වමින්. වෛද්‍ය වෘත්තියට පැමිණෙන සියලුම වෛද්‍යවරුන් වෛද්‍ය ආඥා පනතට අනුව ලියාපදිංචි කරන්නෙ එහි අංක v යටතේ තිබෙන පරිච්ඡේද 105 හි 29 වැනි වගන්තිය යටතේයි.
මේ තුළ ලියාපදිංචි වීමෙන් අනතුරුවයි නීත්‍යනූකූලව වෛද්‍ය සේවයේ යෙදීමට අවසරය ලැබෙන්නේ. ඒ වගේම මේ සඳහා වන සුදුසුකම් මාලාවක් වෛද්‍ය සභාව මගින් නිකුත් කර තිබෙනවා. එයට අනුකූල වුණොත් පමණයි වෛද්‍යවරයකු වීමට වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබෙන්නේ. ඒ වගේම වෙනත් රටකින් වෛද්‍ය විභාග සමත්ව පැමිණියත් වෛද්‍ය සභාවේ විභාග සමත් වනතුරු වෛද්‍යවරයකු වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මෙසේ කර තිබෙන්නේ රෝගීන්ගේ යහපත ආරක්ෂාව තහවුරු කිරීමටයි.
ඒ වගේම වෛද්‍යවරයාගෙන් උපරිම සේවය ලබාගත හැකි ආකාරයෙනුයි ලංකාවේ වෛද්‍ය පද්ධතිය ගොඩනැගී තිබෙන්නේ. මොකද දුෂ්කර පළාත්වල සේවය කරද්දි විශේෂඥ වෛද්‍යවරයෙකුට තමාගේ අංශයෙන් බැහැර අනිකුත් අංශ පිළිබඳ පලපුරුද්ද අඩුවීමට පුළුවන්. මේ නිසා විශේෂඥ වෛද්‍යවරයකුට වඩා සෑම අංශයක් පිළිබදවම අවබෝධයක් ඇති වෛද්‍යවරයෙකු සේවයේ යෙදවීම වැදගත් වෙනවා. ඔහුට එම ප්‍රතිකාර කිරීමට නොහැකි නම් පමණයි ඊට වඩා උසස් රෝහලක් වෙත රෝගියා යවන්නේ. එහෙම නැති වුණොත් මෙය මහා ගැටලුවක් බවට පත්වෙනවා.නමුත් මේ සංශෝධනයේදී විශේෂඥ වෛද්‍යවරුන්ට හැර සාමාන්‍ය වෛද්‍යවරුන්ට රෝගියෙකු පරීක්ෂා කිරීම, රෝග ඉතිහාසය විමසීම හා රෝගියා හමුවීම පවා තහනම් වෙනවා.
ඒ අනුව සාමාන්‍ය වෛද්‍යවරයාට රෝගියාගේ රෝග පරීක්ෂාව ඇතැම්විට වරදක් බවට පත්වෙනවා. ඒ වගේම මෙම සංශෝධනය සිදුකළහොත් 95෴ ක් සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සියලු දෙනා තනතුරක් නොමැති වෛද්‍යවරුන් බවට පත්වෙනවා.
Q විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ගේ සීමා වෙන් කරගැනීමෙන් සිදුවන හානිය කුමක්ද?
එක් දෙයක් පිළිබඳව පමණයි ඔවුන් විශේෂයෙන් දැනුවත්ව සිටින්නේ. එහෙම වුණාම ඒ විෂය සම්බන්ධ අනිකුත් කටයුතු මගහැරෙනවා. ඒ දෙවල් බලාගන්න තමයි පොදුවේ සාමාන්‍ය වෛද්‍යවරුන් සිටින්නේ. නමුත් සංශෝධනයෙන් සීමා වෙන් කරගතහොත් සාමාන්‍ය වෛද්‍යවරුන්ට එම කටයුතු කිරීමට නොහැකි වනවා සේම විශේෂඥ වෛද්‍යවරයාගේ ඒ පිළිබඳ අඩු වැටහීම නිසාම රෝගී ජීවිත අනතුරේ වැටෙනවා.මේ දක්වා හැමදෙයක්ම සිදුවුණේ කණ්ඩායම් වැඩ විදිහට වගේම වෛද්‍යවරුන් සහ රෝහලේ සියලු සේවකයන් එකට සිටි නිසයි. මෙතෙක් කාලයක් මෙවැනි බෙදීමක් තිබුණෙ නැහැ.
ඒ වගේම තමයි පසුගිය පාලන කාලයේත් මෙවැනි සංශෝධනයක් කිරීමට මොවුන් සූදානම් වුණා. නමුත් එවකට සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීම මත එය වළක්වාගන්න අපට පුළුවන් වුණා. මේ කණ්ඩායම නැවතත් මේ උත්සාහ කරන්නේ එම කාර්යය සිදු කරගැනීමටයි. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියෙක් ප්‍රකාශ කර තිබුණා වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදෙන ප.ව. 4.00 පසු වෙලාවට අමතරව උදෑසන සිට පෞද්ගලික සේවයේ යෙදීමට අවසර දෙන්න කියා.
ඉන්දියාවේ වෛද්‍යවරුන් මෙරට සේවයට පැමිණීම වැළැක්වීම එහි අරමුණ කියලයි ඔවුන් කියන්නේ. ඒ අනුව සාමාන්‍ය වෛද්‍යවරුන්ට සේවය තහනම් කර මේ වෛද්‍යවරුන් උදෑසන 8.00 සිට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණහොත් රෝගීන් බලන්නේ කවුද? මෙන්න මේකයි තිබෙන ප්රශ්නය.
ඒ වගේම මේ ප්‍රකාශයෙන් ඔහු පැහැදිලි කරනවා විශේෂඥයන් නොමැතිව පවා රෝහල් පවත්වාගෙන යා හැකි බව.
Q මෙම නීති සංශෝධනය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇති බව ඔබ කිව්වා. ඊට පෙර මේ පිළිබඳ කිසිදු දැනුවත් කිරීමක් කළේ නැතිද?
මෙවැනි නීතිරීති වෙනස් කරනවා නම් ඊට ප්‍රථම එය බලපාන පුද්ගලයන්ට සහ මහජනතාවට දැන්විය යුතුයි. එසේ දන්වා සියලු දෙනා සමග සාකච්ඡා කර නීතියට අනුකූලව සකස්කර තමයි යැවිය යුත්තේ. නමුත් මේ සංශෝධන සිදුකිරීම් පිළිබඳව මේ වනතෙක් වෛද්‍යවරුන්වත් දන්නේ නැහැ. මේවා හැමදේම හොරෙන් කරන්නේ.
Q මේ හරහා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලැබෙන වාසිය කුමක්ද?
මාලඹේ සම්බන්ධ නඩුවක් මේ දිනවල පවතිනවා. කවුරුත් බලාගෙන ඉන්නෙ මේ නඩුව හරහා ඔවුන්ට එන්න ලැබේවිද නැද්ද යන්න පිළිබඳවයි. නමුත් මේ සංශෝධනය හරහා අපි කවුරුත් නොහිතන විදිහට ඉස්සරහා දොරෙන් නැතිව ඔවුන්ට වෛද්‍ය වෘත්තියට එන්න පාර කැපෙනවා. ඒ අනුව ලංකාවේ උපාධියෙන් පසු ලබාගන්නා කුමන හෝ සහතිකයක් මත යෝජිත විශේෂඥ රෙජිස්ටරයේ ලියාපදිංචි වීමට ඉඩදෙන නිසා මාලඹේ වෛද්‍ය සිසුන්ට ලියාපදිංචිය සඳහා අමුතු පහසුකමක් ලැබෙනවා.ඒ වගේම ඕනෑම කෙනෙකුට වෛද්‍ය සභාවේ එකඟතාවෙන් විශේෂඥ සේවයට එන්න පුළුවන්. ඒ වගේම මේ සංශෝධනය සිදු වුණොත් සැබෑ වෛද්‍යවරයා කියන්නෙ විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයි. අනිකුත් සේරම වෛද්‍යවරු ඉවතට විසි වෙනවා.
Q මෙයට ඔබ සංගමය ඉදිරිපත් කරන විසඳුම් මොනවාද?
මේක මේ සුළු පිරිසකගේ වාසි වෙනුවෙන් කරන දෙයක්. ඒ නිසා හොඳම විසඳුම තමයි මේ සංශෝධනය සිදු නොකර සිටීම. ඒ වගේම මේ සංශෝධනයේ ඇතුළත් කර තිබෙනවා විශේෂඥ වෛද්‍යවරුන් වගේ වෙන කාටවත් වැඩ කරන්න බැහැ කියලා. එතකොට සෑම විශේෂඥයෙක්ම කිව්වොත් මගේ වැඩ කරන්න එපා කියලා එතකොට සාමාන්‍ය වෛද්‍යවරුන්ට වැඩ කරන්න බැරි වෙනවා.මුදල්වලට ගිජුකමින් එක්තරා අමුතු, ඔළුව උදුම්මාගත් වෛද්‍යවරුන් ටිකක් කරන වැඩක් මේක. මේ වැඩෙන් මුළු වෘත්තියම අමාරුවේ වැටෙනවා.
Q වෛද්‍ය ක්ෂේත්රයේ පරිපාලනය සම්බන්ධයෙනුත් මේ දිනවල කතාබහ ඇති වී තිබෙනවා. පරිපාලනය කළ යුත්තේ වෛද්යවරුන්මද?
වෛද්‍යවරුන්ට මෙන්ම සියලුම රජයේ සේවකයන්ට පරිපාලනය අදාළයි. පරිපාලනය යනු වෛද්‍යවරුන්ට සුවිශේෂී හෝ වෛද්‍යවරුන්ගේ විශේෂඥ අංශයක් නොවෙයි. එය වෛද්‍යවරුන්ද ඇතුළු පොදු රජයේ නිලධාරීන්ට අදාළ අංශයක්. ඒ නිසයි එය සාමාන්‍ය පරිපාලනය ලෙස චක්‍රලේඛවල දක්වා ඇත්තේ.
ලංකාවේම තිබෙන්නේ සාමාන්‍ය පරිපාලනය. වෛද්‍යරුන්ට එය ඇතුළත් කරද්දී වෛද්‍ය පරිපාලනය කියලා නමක් දාගෙන තිබෙනවා. නමුත් පරිපාලනය කොහෙත් එකයි. දැන් විශේෂඥ වෛද්‍යවරු කියන්නෙ ඔවුන්ගේ ක්ෂේත්රය අනිත් අයට තහනම් වෙනවා කියලා.
එතකොට පරිපාලකයොත් ඒ විදිහට හිතුවොත් මොකද වෙන්නේ. වෛද්‍යවරුන් වෙන්නට පින් කරන්න ඕන කියලා කියනවනේ. ඒ වගේම වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා. එහෙම කරන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න. මේ විදිහට වෛද්‍ය වෘත්තියට ඇවිත් සාමාන්‍ය පරිපාලනය කරන්න යනවා. මොකක්ද මේකෙ තේරුම? වෛද්‍යවරයාට ඕනෑම දෙයක් බදාගන්න පුළුවන්ද? පරිපාලනය කියන්නෙ වෛද්‍ය වෘත්තිය හා බැඳුණු දෙයක්ද? නැහැනේ. ඒ දෙක දෙකක්.
Q සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වෛද්‍ය නොවන පරිපාලකවරයෙකු පත්කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
වෛද්‍ය ක්ෂේත්රයේ අද හරි පරිපාලනයක් නැතිවෙලා තියෙන්නේ. එතකොට වෙන්නෙ වෘත්තිය සමිතිවලට අවශ්‍ය දේ කරන එක. ඒ දේ කරගන්න නම් ඔවුන්ට අවශ්‍ය විදිහට කටයුතු කරන පුද්ගලයෙක් තියාගන්න වෙනවා. ඒකයි මේ වෙන්නේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වෛද්‍ය පරිපාලනයම වෙන්න අවශ්‍ය නෑ. මීට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ආපු ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් වෛද්‍ය නොවන පරිපාලකයො වැඩ කරලා තිබෙනවා. නමුත් කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ. වෛද්‍යවරුන් අතින් පරිපාලනය සම්බන්ධයෙන් ලොකු අඩුපාඩු සිදු වී තිබෙනවා නම් පරිපාලනය සම්බන්ධ ප්‍රවීණයෙක් පත් කිරීම වරදක් වෙන්නෙ නැහැ. පරිපාලනය කාර්යක්ෂම කරන එක හොඳයි.