Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාව බවට පත්වෙලා තිබෙන්නේ රටේ මතු දියුණුව වෙනුවෙන් හෝ සංවර්ධන කාර්යය වෙනුවෙන් තවදුරටත් උගත් බුද්ධිමත් පරපුරක් බිහි කිරීම නෙවෙයි. අද සිටින දේශපාලඥයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ නූගතුන් සහ හිතන්නට බැරි පිරිසක් බිහි කිරීමේ පරම චේතනාවක් සහිතවයි කටයුතු කරමින් සිටින්නේ. වීරයන් වගේ කොයිතරම් අධ්‍යාපනය පිළිබඳ කතා කළත් කිසිදු දේශපාලන පක්ෂයක් රටේ සංවර්ධන ඉලක්ක වෙනුවෙන් අනුගත කරපු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන්න කිසිදු උත්සාහයක් දරලා නැහැ.
පහුගිය පෙබරවාරි 28 වැනිදා ඉඳලා මාසයක පමණ කාලයක් රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික වහලා තියෙනවා, ඒ පිළිබඳ කිසිදු පුද්ගලයෙක්, මාධ්‍යයක් කතා කළේ නැහැ. එතැනින්ම පෙනෙනවා අධ්‍යාපනය කියන දේ අද රටේ පොදු අවශ්‍යතාවක් ලෙස පිළිනොගන්නා බව. ඒ තත්ත්වය ඇති කරලා තිබෙන්නේ මේ නූගත් දේශපාලඥයන් රැල විසිනුයි.
වසරකට 25,000කට අධික පිරිසක් විශ්වවිද්‍යාල වෙත පැමිණෙනවා. ඒ එක දරුවෙක් රටේ ශ්‍රම බළකායට එක්වීම එක දිනකින් හෝ ප්‍රමාද වෙනවා කියන්නේ රටේ සංවර්ධනයට දායක කරන්න තිබෙන මිනිස් පැය ලක්ෂ 02ක් එක් දිනකදී අපට අහිමි වෙනවා කියන එකයි. ඒ වගේම රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමක් වෙනවා මෙය. ෆේස්බුක් වැනි දෙයක් වාරණයට ලක් කරද්දි ඊට එරෙහි වෙන, රටේ විශ්වවිද්‍යාල ටික වහලා තියෙද්දි නිහඬව ඉන්න තත්ත්වයට මේ රටේ ජනතාව පත්ව සිටීමත් ඉතාමත්ම කනගාටුවට කාරණාවක්.
ඒ වගේම ශ්‍රී ලංකාව තුළ අපට දකින්න ලැබෙන දෙයක් තමයි මිනිස්සු නිරන්තරයෙන්ම උත්සාහ කරනවා තමන්ගේ හැකියාව සහ ස්වභාවය අනුව යථාර්ථය අනුව ජීවත් නොවී වෙනත් අයට සාපේක්ෂව ජීවත් වෙන්න. තමන්ගේ සුදුසුකම්වලට සරිලන වැටුපක් ලබනවාට වඩා බොහෝ අය බලාපොරොත්තු වෙනවා අනෙක් අයට සාපේක්ෂව බලලා තමන්ගේ වැටුප් ප්‍රමාණයත් තීරණය කරගන්න. දේශපාලඥයන් කියලා මෝඩයන් පිරිසක් කිසිම සටනකින් හෝ සුදුසුකමකින් තොරව හිතුමතේ තමන්ගේ වැටුප් සහ දීමනා වැඩි කරගනිද්දි අහිංසක ජනතාවගේ බදු මුදල් එළිපිට හූරගෙන කද්දි අනෙක් ජනතාවත් තමන්ගේ ආර්ථිකය පිළිබඳ අවශ්‍යතාවට වඩා සාපේක්ෂව බලන්න උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක්. දේශපාලඥයා හොරා කද්දි දුප්පත් මිනිස්සුන්ට විතරක් පටි තද කරගන්න කියන්න බැහැ.
විශ්වවිද්‍යාල මේ ආකාරයෙන් වසා තිබීම සාමාන්‍ය දෙයක් විදිහට සරලව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශ්වවිද්‍යාල කියන්නේ උපාධිධාරීන් බිහි කිරීමට වඩා වැඩි සේවයක් නිහඬවම මේ රට වෙනුවෙන් සිදුකරන ආයතන. රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රටේ දැවෙන ගැටලු වෙනුවෙන් මේවා ඇතුළෙ පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. මේ ආකාරයෙන් විශ්වවිද්‍යාල එක් දිනක් හෝ වසා දැමීම නිසා වසර ගණනාවක් තිස්සේ සිදුකරපු පර්යේෂණයක් සමහර විට නැවත මුල සිටම කරන්න වෙනවා. මේවට කවුද වගකියන්නේ? අද විශ්වවිද්‍යාල ටික වහලා මේ මතුවෙලා තිබෙන අර්බුදයේ ප්‍රතිඵල දැන්ම කාටවත් දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ තවත් වසර කිහිපයක් ගතවුණාට පස්සෙයි. ඒවගේම අපි වටහාගතයුතු වැදගත්ම කාරණයක් තමයි අපි වෘත්තීය අරගලයකට යනවා නම් අපේ ප්‍රමිතිය බාල වෙන ආකාරයෙන් කටයුතු කළයුතු නැහැ. ඒ නිසා අනධ්‍යයන සේවක සහෝදරයන්ටත් මම ආරාධනා කරනවා මේ කරන දේ තුළින් වෘත්තීය ගුණාත්මකභාවය පත්වන තැන ගැන තව වරක් හිතන්න කියලා. මෙයින් දේශපාලඥයන්ට රිදෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල වසා තැබීම තමයි ඔවුන්ගෙත් අරමුණ.
උසස් අධ්‍යාපන ක්ෂේත්රය කියන්නේ රටක අනාගත දියුණුව තීරණය කරන, අනාගත ආයෝජන තීරණය කරන තැනක්. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අද වෙද්දි විවිධාකාරයේ අර්බුදයන්ට මුහුණදෙමින් ඉන්නවා. අපි දැනට තිබෙන ගැටලුව වන අනධ්‍යයන සේවක ප්රශ්නය ගත්තොත් ඔවුන්ට ව්‍යවස්ථාමය අයිතියක් තිබෙනවා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීම සඳහා. මෑතක සිට අපි මේ වෘත්තීය අරගලවලදී වැඩි වශයෙන් දකින ප්‍රශ්නයක් තමයි මේ වැටුප් විෂමතා ප්රශ්නය. අරගලවලට නොගියත් මේ ප්‍රශ්න දැඩි වශයෙන් පවතින ක්ෂේත්‍ර තවත් ඕනෑ තරම් පවතිනවා.
මේ සමස්ත ප්රශ්නය දිහා බැලුවොත් අපට පෙනෙන දෙයක් තමයි මේ ප්රශ්නය සහ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය කලින් කලට ආණ්ඩු මාරු වීමත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා මේ ප්රශ්නය ඇත්තටම වැටුප් ප්‍රශ්නයක්ද, එහෙමත් නැත්නම් යම් දේශපාලනික ප්‍රශ්නයක්ද කියන සැකය අද රටේ බොහෝ දෙනෙකුට තිබෙනවා. ඒ වගේම මෙතැන කුමන්ත්රණයක ස්වරූපයකුත් තිබෙනවා. මොකද වර්තමානයේදි වෘත්තීය සමිති ව්‍යාපාර ගත්තොත් ඇත්තටම වෘත්තීය අයිතිවාසිකමකට වඩා එතැන තිබෙන්නේ දේශපාලන පැතිකඩක්. නමුත් දේශපාලනයක් නොමැතිව වෘත්තීය සමිතියක් කරන්න බැහැ කියන මතයෙ මම ඉන්නවා.
මේ සෑම ප්‍රශ්නයකටම හේතුව ආණ්ඩු. මේ රටේ නිදහසෙන් පසුව බලයට පත්වුණු හැම ආණ්ඩුවක්ම කළේ තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් කප්පම් දේශපාලනයක නිරතවීමයි. සමස්ත ජාතික දේශපාලනයේම අර්බුදය තමයි මම වෘත්තීය සමිති ව්‍යාපාරවලින් දකින්නේ. අපි දන්නවා මේ රටේ තීන්දු තීරණ ගන්න මිනිස්සු රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දිහා බලලා නෙවෙයි. ඒ අවස්ථාවේ පවතින තමන්ගේ දේශපාලනික අභිමතාර්ථ ඉටුකරගන්නයි.
ඕනෑම රාජ්‍ය වේවා, අර්ධ රාජ්‍ය වේවා, ඕනෑම ක්ෂේත්රයක වැටුප් නියම වියයුත්තේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු අවශ්‍ය සුදුසුකම්, බඳවාගැනීමේ නිර්ණායක සහ වෘත්තීය කාර්යභාරය අනුවයි. නමුත් අද වෙනකොට වැටුප් විෂමතා ප්‍රශ්න දැඩි ලෙස මතු වෙලා තිබෙන්නේ වැටුප අධ්‍යාපන සුදුසුකම් සහ ස්ථර අනුව තීරණය නොවන තත්ත්වයක් තිබෙන නිසයි. ඒ නිසා ඒ ඒ අංශවල රාජ්‍ය සේවකයන් එකිනෙකා පරයමින් තරගයට එකිනෙකා සංසන්දනය කරමින් වැටුප් වෙනුවෙන් අරගලවලට යනවා. ඒවට හොඳම උදාහරණය තමයි විදුලිබල මණ්ඩලය සහ වරාය වැනි ආයතන. වැටුප් විෂමතා එතන දැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. මීට හේතුව තමයි අමන දේශපාලඥයො තම තමන්ගේ දේශපාලන හෙංචයියන්ට රැකියා ලබාදෙන්න මෙවැනි ආයතනවල පත්වීම් ලබාදීලා වැටුප් විෂමතා ඇති කිරීම.
විශ්වවිද්‍යාල ගැටලුව ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙනවා අධ්‍යයන දීමනාවක්. ඒ දීමනාව පාදක කරගෙන අනධ්‍යයන සේවකයොත් ඉල්ලනවා එම්.සී.ඒ. කියලා දීමනාවක්. නමුත් ඔවුන්ට වැරැද්දක් මෙතැනදි කියන්න බැහැ. මොකද ආණ්ඩුව ගිවිසුමක් මගින් ඉල්ලීම් ලබාදෙන්න එකඟ වෙලා තිබෙනවා. ඒකට එකඟ වුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මිසක් රටේ ජනතාවවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්වත්, විශ්වවිද්‍යාලයේ දරුවොවත් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුව ගිවිසුම්ගතව ලබා දී තිබෙන මේ ඉල්ලීම් ඉටුකළ යුතුමයි. මේ විදිහට රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ වෙලා තිබියදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ.
රාජ්‍ය අධ්‍යාපනය මේ ආකාරයෙන් අර්බුදයකට හෙවත් අහිතකර ප්‍රහාරයකට ලක්වෙලා තිබෙන්නේ අපේ රටේ පමණක් නොවෙයි. ඒක මේ වෙද්දි සෑම රටකම පාහේ අඩු වැඩි වශයෙන් සිදුවෙමින් පවතින්නක්. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පවා මේ වෙද්දි මෙම ගැටලුව විශාල වශයෙන් කතාබහට ලක්වෙමින් තිබෙනවා. මෑතකදී ලන්ඩන් නුවර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා පාරට බැස්සා සිය අධ්‍යාපනයට ආණ්ඩුව විසින් සිදුකරන අහිතකර අතපෙවීම් සඳහා සිය විරෝධය එල්ල කරන්න. මේ ප්රශ්නය ඉතාමත් සංකීර්ණයි වගේම පැති කිහිපයකින්ම විග්රහ කළයුත්තක්.
මේ ප්රශ්නයේ මුල අප අද අනුගතව සිටින වෙළෙඳ පොළ ආර්ථික සමාජ ක්‍රමය හෙවත් ධනේෂ්වර ආර්ථික ක්‍රමය විසින් පෝෂණය කරන ප්‍රශ්නයක්. ධනවාදය වෙනුවෙන් පෙනී සිටි %ඇඩම්ස් ස්මිත්^ සහ ධනවාදයට පහර ගැසූ %කාල් මාක්ස්^ කියන පඬිවරුන් දෙදෙනාම පෙන්වා දී තිබෙනවා ධනවාදය කියන්නේ මිනිසාගේ ධනය රැස් කිරීමේ අසීමිත ආශාව පදනම් කරගත් ක්‍රමයක් බව. මේ ක්‍රමය තුළ මුලින් ධනවත් වූ රටවල් අධිරාජ්‍ය ගොඩනගනවා. ඒ කාර්යයේදී අපි වගේ රටවල් ඔවුන් හිංසාවෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තමන් යටතට ගන්නවා. ඉන්පස්සේ බලහත්කාරයෙන්ම මේ රටවලත් ධනවාදය රෝපණය කරන්න කටයුතු කරනවා. ඒ ඔස්සේ අපිත් ඊට අනුගත වෙනවා.
ධනවාදය රෝපණය වෙලා එය ව්‍යාප්ත වීමේ උච්චතම අවස්ථාව වනවිට සියලු සේවා අංශ ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වන ආකාරයෙන් වෙළෙඳාමට විවෘත වෙන්න පටන් ගන්නවා. ලෝක වෙළෙඳ සංවිධානය %සේවා වෙළෙඳාම පිළිබඳ පොදු සම්මුතිය^ නමින් සම්මතියක් හඳුන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවත් මේ සඳහා අත්සන් තබා තිබෙනවා. මේ සම්මුතියේ අරමුණ තමයි යම් කාලයකදී ලෝකයේ තිබෙන සියලුම තොග වෙළෙඳාම, සිල්ලර වෙළෙඳාම, රක්ෂණය, බැංකු, සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය ආදී සියල්ල වගේම සොහොන් පිට්ටනි පවා මිලක් තීරණය වන වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම. මෙය තමයි 1977දී විවෘත ආර්ථිකය කියමින් ජේ.ආර් ජයවර්ධන රජය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන්නේ. එදා සිට අපේ රටේ බලයට පත් වූ සෑම රජයක්ම එයයි අනුගමනය කළේ. අද වෙද්දි තිබහට බොන වතුර ටික පවා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ හරහා තමයි අධ්‍යාපනයත් මේ සඳහා ගොදුරු වෙන්නේ. ඒ අනුවයි රාජ්‍ය අධ්‍යාපනය පාලකයන් විසින් ක්‍රමක්‍රමයෙන් අවුලට පත් කරමින් ඒ තුළ අර්බුද නිර්මාණය කරමින් සිටින්නේ. අධ්‍යාපනය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි. එය මිනිසුන් සතු අයිතියක්. ඒ අයිතිය අහෝසි කරමින් සිටින ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසයි මේ ආකාරයෙන් විවිධ අයුතු ක්‍රම භාවිත කරලා, විශ්වවිද්‍යාල අර්බුදයට ලක්කරලා එය සදාතනික අර්බුදයක් බවට පත් කරමින් සිටින්නේ. ඒ හරහා තමයි මේ රජය අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමට සාධාරණත්වයක් ලබාදෙන්න උත්සාහ කරන්නේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා දැනට මාසයකට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා. අනධ්‍යයන සේවක සහෝදර සහෝදරියන් තමන්ගේ වෘත්තීය ඉල්ලීම් පදනම් කරගෙනයි වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ගිහින් තිබෙන්නේ. 2016 වසරේදී ගිවිසුමක් මගින් රජය විසින් ලබාදීලා තිබෙන පොරොන්දුව ඉටු නොකිරීමයි මීට ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ. මේ හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ සියලුම දේශන සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබෙනවා. විභාග පැවැත්වෙමින් තිබූ විශ්වවිද්‍යාලවල විභාග කටයුතු අතරමග ඇනහිටලා තිබෙනවා. තවත් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු දින නියමයක් නොමැතිව කල් ගිහිල්ලා තිබෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණ සහ බඳවාගැනීම් කල් ගිහින් තියනවා. අනිවාර්යයෙන්ම සියලුම විශ්වවිද්‍යාලවල නව බඳවාගැනීම් කල් යනවා. විශ්වවිද්‍යාලවල පර්යේෂණ අතරමග නැවතිලා, විද්‍යාගාරවල නඩත්තු කටයුතු සිදුනොවීම නිසා අත්‍යවශ්‍ය නිදර්ශක සහ සාම්පල් විනාශ වෙන්න ඉඩ තිබෙනවා. මේ සිදුවන සියලු හානිවලට සම්පූර්ණයෙන්ම රජය වගකිව යුතුයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු ඇති කරලා මේ විදිහට දිගින් දිගටම උද්ඝෝෂණ සහ වැඩවර්ජන හරහා අකර්මණ වෙද්දි ඒවා පිළිබඳ ජනතාවට තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ ඔස්සේ රජය, ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා මුදල් වියදම් කරලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන තැනට ජනතාව පත් කරන්න. ආණ්ඩුව පහුගිය කාලෙ තිබ්බ සයිටම් ප්‍රශ්නයේදි නෙවිල් ප්රනාන්දුගෙ ලාභය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවා සයිටම් අහෝසි කරන්න බැහැ, දෙමවුපියොයි, ඒ දරුවොයි අසරණ වෙනවා කියලා. නමුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගාණක් ඉගෙනගන්න රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ වෙලා ඒ ළමයි අසරණ වෙලා ඉද්දි කිසිවක් නොකර ඉන්නවා. මේක විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි. රජය කරන්න ඕන අනධ්‍යයන සේවක සහෝදර සහෝදරියන්ට වූ පොරොන්දුව ඉටුකිරීම පමණයි.
ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියමින් ජනතාවගේ ඡන්දය අරගෙන වැජඹෙන මේ පාලකයෝ ඒ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අබමල් රේණුවක තැකීමක් කරන්නේ නැහැ කියන එකයි මෙතැනින් පෙන්නුම් කරන්නේ. ජනතාවත් මෙතැනදි නිහඬව සිටීම ආණ්ඩුවට විශාල වාසියක්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ නැතිවෙමින් යන මේ ඔබේ සහ ඔබේ දරුවාගේ අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න කියලා. ආණ්ඩුව හිතුවට විශ්වවිද්‍යාල වහලා ශිෂ්‍ය විරෝධය මැඬපවත්වන්න පුළුවන් කියලා ඒකත් හීනයක් විතරයි.*
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd