රටේ බහුතර මතය කොතැනද අපි එතැන ඉන්නවා
රට තුළ මෙන්ම ලෝකයේද විවිධ රැකියා අවස්ථා ඇතිවී තිබුණද, මෙරට විරැකියාවෙන් පෙළෙන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. පවතින රැකියා සඳහා සුදුස්සන් නොසිටීමත්, සුදුසුකමට ගැළපෙන රැකියා නොලැබීමත් මෙයට හේතුවී තිබේ.
අනාගත වැඩලෝකයට අවශ්‍ය පරපුර සකස් කිරීමේ රජයේ වගකීම පවරා ඇත්තේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයටය. රටේ ශ්‍රම හමුදාවක් තැනීමේ වගකීම ඔවුන් බාරගෙන ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර, මේ සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
Q නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය බාර ගැනීමෙන් පසුව ඔබ මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය කුමක්ද?
රටේ සහ ලෝකයේ රැකියා ඇබෑර්තු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එහෙම වුණත් රට ඇතුළෙ රැකියා විරහිත තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. රැකියා පුරප්පාඩුවලට ගැළපෙන සේ තරුණ තරුණියන් පුහුණු කිරීම තමයි ප්‍රධානම අභියෝගය විදිහට මම දකින්නෙ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා කෙටි කාලීන, දිගු කාලීන හා මධ්‍ය කාලීන වැඩපිළිවෙළක් අපි සකස් කිරීමට කටයුතු කළා.
Q එම සැලසුම් පිළිබඳ කතා කරනවා නම්?
අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන තාක්ෂණික පුහුණු ආයතන දෙස අවධානය යොමුකරන විට මේ ආයතනවලින් පුහුණුව ලබන්නන් රැකියාගත වීමේ ප්‍රතිශතය 95%ට වඩා වැඩියි. ඒ වගේම මෙම ආයතන සඳහා ඇතුළත් වීමට දැඩි ඉල්ලුමක් තිබෙනවා. උදාහරණයක් ලෙස කටුනායක ඉංජිනේරු පුහුණු ආයතනය සඳහා වසරකට 1500ක් පමණ ඉල්ලුම් කරනවා.
නමුත් බඳවා ගන්න පුළුවන් 350යි. මේ නිසා ජර්මානු තාක්ෂණික ආයතනය, ජපන් තාක්ෂණික ආයතනය වැනි මෙවැනි ආයතන කඩිනමින් ව්‍යාප්ත කිරීමටත්, පුළුල් කිරීමටත් තීරණය කළා. අපි මෙය සිදුකරන්නේ කෙටි කාලීන අරමුණක් විදිහටයි.
ගොඩනැගිලි හදලා, සැලසුම් හදලා මෙම ආයතන ව්‍යාප්ත කරන්න හැදුවොත් තවත් අවුරුදු තුන හතරක් යනවා. මේ නිසා වහාම කුලී පදනම මත ස්ථාන ලබාගෙන හෝ පාසල් යොදවා ගනිමින් මෙවැනි ආයතන කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.
Q ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදීම 2000 වර්ෂයේ ආරම්භ කළත් මේ වනවිට ලබාදී තිබෙන්නෙ 5000ක පමණ පිරිසකට පමණයි. මෙහි අර්බුදයක් තිබෙනවා නේද?
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නෙමැතිකමින් රැකියාවට යා නොහැකි වූ බොහෝ පිරිසක් සිටිනවා. මේ අයට කඩිනමින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදීමටත් අවධානය යොමු කළා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සුදුසුකම් සහිත පිරිසට, පෙර පාසල් ගුරුවරුන්ට, මේ ආකාරයට දේශීය සහ විදේශීය රැකියා වෙළෙඳ පොළට කඩිනමින් යැවිය හැකි පිරිසට සහතික ලබාදෙනවා.
සෑම පාසලකම නිපුණතා සංගමයක් පිහිටුවා වෘත්තීය මාර්ගෝපදේශක කමිටු හදනවා. ඒ හරහා පාසල් දරුවෝ සාමාන්‍ය පෙළ මට්ටමට පැමිණෙන විට ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් පිළිබඳවද ඔවුන්ව දැනුවත් කිරීමට මෙම වෘත්තිය මාර්ගෝපදේශක කමිටු උපයෝගී කර ගන්නවා.
අනාගතයේ ඇතිවන රැකියා පිළිබඳ අධ්‍යයනය කර ඒවාට ගැළපෙන වෘත්තීය පුහුණු පාඨමාලා ඇති කිරීමත්, අලුතින් ඇතිවන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකර එවැනි පාඨමාලා ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
Q හැකියාවට ගැළපෙන රැකියා නොමැති බවට බොහෝ පාර්ශ්වයන් චෝදනා කරනවා. මෙයට විසඳුමක් ඉදිරිපත් කරන්න සූදානම්ද?
ඇතැම් විට ලංකාවේ ඉතාම හොඳ පාඨමාලාවන් තිබුණත් ඒ අතර ජාත්‍යන්තර පිළිගැනීම් නොමැති පාඨමාලාවන්ද තිබෙනවා. මේ නිසා අපි යටතේ තිබෙන සෑම පාඨමාලාවක් සඳහාම ජාත්‍යන්තර පිළිගැනීම ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ පෞද්ගලික රෝහලක් සමග එක්ව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදිය හැකි හෙද පාසලක් ආරම්භ කරන්න අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. ඒ හරහා සාත්තු සේවය,භෞතික චිකිත්සක, වැඩිහිටියන් රැකබලා ගැනීම සම්බන්ධ රැකියා පුහුණුවීම් ලබාදී රැකියා අවස්ථාවන්ට යොමු කිරීමට ඒ තුළ සැලසුම් කර තිබෙනවා.
ගාල්ලේ අක්කර 20ක භූමි භාගයක සියලුම පහසුකම් සහිත සාගර විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. උසස් තාක්ෂණය භාවිත කරන මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම, නැව් සම්බන්ධ රැකියා, සාගරය සම්බන්ධ රැකියා සඳහා ශ්‍රම බළකාය පුහුණු කිරීමේ පාඨමාලා හඳුන්වා දෙනවා.
Q රට තුළ ශ්‍රම බළකායේ හිඟකමින් මේ වනවිට විදෙස් රටවලින් මෙරටට පැමිණ සේවය කරන පිරිස් වැඩිවෙලා තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේ මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවාද?
රට තුළ ශ්‍රම බළකායේ ගැටලුවක් තිබෙනවා. මේ නිසාම අපට ශ්‍රමය අවශ්‍ය වුවත් ලබාගැනීමට නොහැකි වන අවස්ථා තිබෙනවා. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් 'නිපුණතා කාර්යය බළකාය' නමින් ශ්‍රම හමුදාවක් රට තුළ බිහිකරනවා. ලබන මස 19 වැනිදා එය දියත් කිරීමටත් සැලසුම් කර තිබෙනවා. පාසල් තුළ අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුම එහි පාර්ශ්වකරුවෙකු වෙනවා.
අධ්‍යාපනය හමාර කළ පසුව ඔවුන් එහි සාමාජිකයන් බවට පත්වෙනවා. දැනට දෙලක්ෂ විසිදහසක් පමණ වසරකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. එයින් ලක්ෂයයි අපි අරගන්නේ. ඉතුරු එක්ලක්ෂ විසිදහසටත් වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ පහසුකම් ලබාදීම අරමුණයි. දිගු කාලීන අරමුණත් එයයි.
Q ප්‍රාථමික අධ්‍යාපනය පවා ලබා නොගන්නා 1.5%ක් පමණ පිරිසක් රට තුළ සිටින බවත්, ද්විතීයීක අධ්‍යාපනය දක්වා නොයන 02%ක් සිටින බවත් ජාතික අධ්‍යාපන කොමිසම සමීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මොවුන් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවාද?
අකුරු ලිවීමට නොහැකි දරුවන්ට පවා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකයක් ලබාදිය හැකි වැඩපිළිවෙළකට යන්න අපි සූදානම්. ඒ සඳහා ඔවුන්ව වාචික පාරීක්ෂණයකට පමණක් හෝ යොදවා අදාළ සහතික ලබාදීමට වැඩපිළිවෙළක් සකසනවා. සහතිකයේ ගෞරවය රැකෙන ආකාරයට මෙම සහතික නිකුත් කිරීමට කටයුතු කිරීම අපට තිබෙන වගකීමක්.
ත්‍රි‘රෝද රථ රියදුරන් සම්බන්ධයෙනුත් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අනුව සෑම ත්‍රිරෝද රථ රියදුරු මහත්මයෙක්ම අමතර වෘත්තීය පුහුණක් ලබාගැනීම අනිවාර්යයි. උදාහරණයක් විදිහට වෙල්ඩින්කරුවෙක්, විදුලි කාර්මිකයෙක්, ජලනල කාර්මිකයෙක් ආදී ලෙස තවත් පුහුණුවක් ලබාගත්තාම ගමේ ප්‍රශ්න විසඳාගන්න ගමේ සම්පත් භාවිත කරන්න පුළුවන්. මේ තුළින් ශිල්පීන් හිඟයට පිළියමක් ලැබෙනවා සේම ක්‍රමානුකූලව ත්‍රීවිල් රැකියාවෙන් තරුණ පිරිස ඉවත් කරගැනීමටද අවස්ථාව ලැබෙනවා.
Q පෞද්ගලික හෙද විද්‍යාලයක් ආරම්භ කරන බව ඔබ පැවසුවා. නමුත් රට තුළ පෞද්ගලික අධ්‍යාපනයට විරෝධය දක්වන සමයක් මෙය?
රටේ තුන්ලක්ෂ පණස්දහසක් පාසල් ගියත්, එයින් විසිහයදාහයි විශ්වවිද්‍යාලයට යන්නේ. එතකොට ඉතුරු තුන්ලක්ෂ විසිහතරදාහට වෙන්නේ මොකද්ද? ඒ අයගේ අනාගතය අමතක කරලා දාලා විශ්වවිද්‍යාලයේ යන විසිහයදාහම ගැන පමණද කටයුතු කළ යුත්තේ.
අපි අම්මෙකුගෙන් ඇහුවොත් අම්මගේ දරුවන් අතරින් විශ්වවිද්‍යාලයේ ගිය දරුවා පමණද ඔබේ දරුවා වෙන්නේ කියලා, එතකොට අම්මා දෙන උත්තරය මොකද්ද? අන්න ඒ උත්තරය තමයි රජයක් හැටියට අපටත් තියෙන්නෙ. අනිත් දරුවන්ටත් අවස්ථාවක් යොමුවෙන්න ඕන.
ලොකේ හැම රටකම වෙන්නෙත් මේ දේ. ඒ වගේම අපි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කර තිබෙනවා. දහදාහක් විතර වසරකට විදෙස් රටවල අධ්‍යාපනයට යනවා. අනිත් අයට මොකද වෙන්නේ එතකොට. ඔබේ හදවතට එකඟව ඔබෙන් මේ ප්රශ්නය අහන්න.
Q 'සයිටම්' සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
සයිටම් පටන් ගත්තෙ යම් අරමුණක් ඇතිව. ඒ මොකක්ද කියලා ඒ කාලයේ කටයුතු කරපු නායකත්වයෙන් විමසලා අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැන සැලකිල්ලට ගෙන බුද්ධිමත් දරුවාට අසාධාණයක් නොවෙන ආකාරයට ක්‍රියාත්මත විය යුතුයි.
Q යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන්මග කෙබඳුද?
ආණ්ඩුවේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ වෙන්න පුළුවන් වගේම සමහර කාරණා සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි දේ තිබෙනවා. කොහොම වුණත් ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් පක්ෂය තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. පසුව පක්ෂ දෙක සමගම සාකච්ඡා කරනවා. ඒ අනුව ඒකමතිකව එකඟ වන වැඩපිළිවෙළකට අවතීර්ණ වෙන්න අදහස් කරනවා. මෙතෙක් එවැනි සාකච්ඡාවක් සිදුවෙලා නැහැ.
Q රටේ සියලුම පක්ෂ ඒකීයභාවය, ස්ථාවරත්වය බුදුදහම යන කාරණා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නව ව්‍යවස්ථාවක් සැකසීමට එකඟ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කෙබඳු වේවිද?
වර්තමාන ව්‍යවස්ථාවේ යම්යම් අඩුපාඩුකම් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් අපි නිර්මාණය කරන නව ව්‍යවස්ථාවේ මේ ප්‍රශ්නයක් වුණු කරුණු ඊට වඩා වැඩිවෙන ආකාරයට වෙනසකට නොවෙයි අපි සහයෝගය දෙන්නේ. ප්‍රශ්න ඇති නොවන ව්‍යවස්ථාවක් විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි නියෝජනය කරන්නේ රටේ බහුතරයකගේ මතය.
රටේ බහුතර මතය කොතැනද අපි එතැන ඉන්නවා. බුහුතර මතය පිළිබඳ අපට එක් ක්ෂණයකින් තීන්දුවකට එන්න බැහැ. අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. පක්ෂ කියලා නිකම් කාඩ්බෝඩ් පක්ෂ එකතු වෙලා ගන්න තීරණ නෙවෙයි අපි කියන්නෙ මහජන මතය එකඟ වන තැනක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැඳී සිටින්නෙ.
Q අාණ්ඩුෙව් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් බොහොමයක් විවේචන එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මගේ අමාත්‍යාංශයේ වැරදි වැඩපිළිවෙළක් සිදුවෙනවා නම්, කවුරුහරි එය විචේනය කරනවාට මම කැමතියි. චන්දිම වීරක්කොඩිගේ අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ වැරදියි, මේක නොවෙයි විය යුත්තේ කියලා කවුරුහරි කිව්වොත් මම නිවැරදි මගකට යොමුවෙනවා.
එහෙම නැතිව හැමෝම කටවහගෙන ඉඳලා අවසාන මොහොතේ කිව්වොත් මේ අවුරුදු ගාණෙම කරපු දේ වැරදියි කියලා ඒක මටත් අසාධාරණයක්. රටටත්, ජනතාවටත් අසාධාරණයක්. අද හැමෝටම කතාකරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

