රජයේ පවසන දේවල් වලට ඇහුම්කන් දෙනවා නම් ආපදා බොහොමයක් වළක්වාගන්න පුළුවන්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සහ නායයෑම් හේතුවෙන් ජන ජීවිත රැසක් අඩාල වූ අතර, එම ජන ජීවිත යථාතත්ත්වයට පත්කිරීම උදෙසා රජය ගෙන ඇති ඉදිරි පියවර සම්බන්ධයන් රජයේ නියෝජිතයන් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් සමග අපි සාකච්ඡා කළෙමු.
Q ආපදාවට පත් දරුවන් වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවාද?
අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස මේ වන විට සියලුම දරුවන් සඳහා නොමිලේ පොත්පත්, ඇඳුම්, සපත්තු වගේම විභාග සහතික ලබාදෙන්නත් කටයුතු කරනවා. ඒ වගේම විභාග සති දෙකකින් කල් දැම්මා. අද සිට අපේ සියලුම ජාතික පාසල් ළමුන් සඳහා ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වෙනවා.
Q ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රජයේ අවධානය යෙමුව තිබෙනවාද?
මෙවැනි ආපදා ස්වාභාවික උවදුරු. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තිබෙනවා. එමගින් ගතහැකි සියලු පියවරක්ම අපි ගන්නවා. නමුත් ගැටලුව තිබෙන්නේ මෙම ආපදාව දවසක් තුළ සිදුවීමයි. ඒ තුළ බොහෝ විපත් සිදුවුණා. මේ නිසාම විකල්ප අනුගමනය කරන්න තිබුණ කාලය අඩු වුණා. ඒ නිසා තමයි මේ තත්ත්වය දරුණු වුණේ.
නමුත් අපි රජයක් විදිහට ගන්න පුළුවන් උපරිම පියවර අරගෙන තිබෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රජයේ සියලුදෙනාම ක්‍රියාත්මක වුණා. ඒ වගේම චක්‍රලේඛ නොතකා අපි ජනතාවට සහන දෙන්න තීරණය කළා. ඒ වගේම ඔවුන්ගේ බැංකු ණය කපා හරින්න තීරණය කළා. මේ සියල්ල අපි අපේ මට්ටමින් ඉටුකර අවසන්.
Q මේ වන විටත් සහන නොලැබුණ ප්‍රදේශ තිබෙනවා. සියලුදෙනාටම සහන ලබාදීමේ වැඩපිළිවෙළක් සකසා නොමැතිද?
සියලුදෙනාටම සහන ලබාදී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අවතැන් වූ ජනතාවට සහන ලබාදෙනවා. එම සහන තවදුරටත් ලබාදීමටත්, අවතැන් ජනතාව නැවත යථා තත්ත්වයට පත්කිරීමටත් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම තමයි අපි සිදුකළ යුතුව තිබෙන්නේ. ඒ වෙනුවෙන් රජය අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමට සියලු ප්‍රතිපාදන, මුදල්, ද්‍රව්‍ය ආධාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා.
Q ආපදා අවම කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ මන්ද?
අපි රජයක් වශයෙන් හැමවිටම කියනවා නාය යෑමට ලක්වෙන ප්‍රදේශවල නිවාස ඉදිකරන්න එපා කියලා. ඇතැම් අය අනවසරයෙන් පදිංචිවෙලා තිබෙන්නේ. රජයේ පවසන දේවල් වලට ඇහුම්කන් දෙනවා නම් ආපදා බොහොමයක් වළක්වාගන්න පුළුවන්. ඇතැම්විට ආපදා තත්ත්වය පිළිබඳ කලින් දැනුම් දුන්නත් ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් වෙන්නේ නැහැ. ආපදා තත්ත්වය වැඩි වුණොත් ඒ නිසයි.
Q වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රට තුළ ස්වාභාවික සහ ස්වාභාවික නොවන ආපදා රැසක් සිදුවුණා. මෙවැනි දෑ තවදුරටත් රජයට දැරිය හැකිද?
කුමන අපහසුකම් තිබුණත් රටේ ජනතාවගේ ජීවිතවලට අපි ප්‍රමුඛත්වය දෙනවා. ඔවුන්ගේ මූලික අවශ්‍යතා අපි ලබාදිය යුතු වෙනවා. රජයක් විදිහට අපි දරා ගන්නවා. මේ වන විට චීනය, පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල් අපිට ආධාර ලබාදෙන්න එකඟ වී තිබෙනවා.මේ නිසා බාධාවකින් තොරව මේ කටයුතු කරගෙන යාමට රජයට හැකියාව තිබෙනවා.
Q ජනතාවට විශේෂයෙන් දැනුම් දෙන්න යමක් තිබෙනවාද?
රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයන් අවබෝධ කරගෙන විශේෂයෙන් ඉදිරියේදීත් ආපදා ඇතිවෙන්න පුළුවන් ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවලින් වහාම ඉවත්වෙන්න කටයුතු කරන්න කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙවැනි විපත්වලට බොහෝවිට අනවසර ඉදිකිරීම් සහ අනවසර පදිංචිකරුවන් තමයි හේතුව. ඒ වගේම දරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් ඉල්ලා සිටිනවා.
සියල්ලන්ගේම ප්‍රශ්න මාසයක් ඇතුළත අවසන් කරන්න කටයුතු කරනවා
ජීවිත මුදා ගැනීම
රජයේ මූලික පියවර වුණේ ජීවිත හානිවීම අවම කරගැනීමයි. මෙවැනි හදිසි සිදුවීම්වලදී ජීවිත බේරාගැනීමට නොහැකි වන අවස්ථා තිබෙනවා. නමුත් ත්‍රිවිද හමුදා පොලීසිය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු රජයේ සියලුදෙනා එකතුව ජීවිත හානිවීම අවමකර ගනිමින් අවශ්‍ය කටයුතු සිදුකළා.
දැන් අපට තිබෙන්නේ සුරැකිව තිබෙන ජීවිත නගා සිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමයි. ඒ සඳහා මේ වනවිට වැඩකටයුතු සිදුකෙරෙමින් පවතිනවා.
දිස්ත්‍රික්කවල කටයුතු
මාතර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන කාරණය තමයි බොහෝ ප්‍රදේශ තුළ විදුලිය විසන්ධි වී තිබීම. ගාල්ල, තංගල්ල, හම්බන්තොට ප්‍රදේශවලින් විදුලිය සම්බන්ධ කරමින් මාතරට විදුලිය ලබාදෙන්න පුළුවන් උපරිමයෙන් විදුලිය ලබාදී තිබෙනවා.
එසේ වුවත් විදුලිය ලබාදිය නොහැකිව තවත් ප්‍රදේශ කිහිපයක් ඉතුරු වී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අභියෝගය තමයි කිසිවෙකුට ළඟාවීමට නොහැකි ස්ථාන බොහොමයක් තිබීම. රත්නපුර දිස්ත්‍රික්කයේත් විදුලිය වගේම ඉන්ධන හිඟයක් තිබෙනවා. ඒ වගේම පානීය ජලය ගැටලුව විශාල වශයෙන් තිබෙනවා.
මේ වනවිට සන්නිවේදන පහසුකම් යථාතත්ත්වයට පත්ව තිබෙනවා. රජයේ ඉල්ලීම මත රජයේ සහ පෞද්ගලික ආයතනවල දුරකථන සම්බන්ධතා යළි ලබාදී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් මෙම උවදුරට ගොදුරු වී තිබෙනවා. හම්බන්තොට ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් තිබෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ සියලු ජනතාව සඳහා සහනාධාර ලබාදෙන්න කටයුතු කරනවා. මේ වනවිට ජලය බැසීමේදී පහළ ජනතාවට යම්යම් ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ගාල්ල ගිංගඟ ව්‍යාපෘතියේ බැමි අතරින් පතර සිදුරු වී තිබීම තුළින් ජලය කාන්දුවීමට පටන්ගැනීම ගැටලුවක්ව පැවතුණා. මෙය බරපතළ තත්ත්වයක් වූ නිසාම ත්‍රිවිධ හමුදාව එකතු වෙලා එම බැම්ම ආරක්ෂා කිරීම සඳහා පියවර ගත්තා. ඒ තත්ත්වයම නිල්වලා ගඟ හේතුවෙන් මාතර නගරයට සිදුවුණා. එම හානිය වළක්වා ගැනීමටත් කටයුතු කළා.
ජල සැපයුම අඩුකරනවා.
දැනට ගාල්ල, මාතර ප්‍රදේශවලට සිදුකරන ජල සැපයුම අඩුකිරීමට සිදුව තිබෙනවා. එසේ නොකළහොත් තවත් මාස හතරකට පමණ ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීමට අපොහොසත් වෙනවා. මොකද ජල සැපයුම් කරන ස්ථාන වෙත ඇති පරිගණක පද්ධතිවලට හානි සිදුවුවහොත් එය යථාතත්ත්වයට පත්කිරීමට අවම වශයෙන් මාස දෙකතුනක කාලයක් ගතවෙනවා. මේ නිසා ජාතික ජල සම්පාදන ජලාප්‍රවාහන මණ්ඩලය අදාළ යන්ත්‍ර ගලවා ඉවත් කර තිබෙනවා. මේ හේතුවෙන් ජල සැපයුම දින දෙකක් පමණ අඩාල වෙන්න පුළුවන්.
දේපොළ සහ නිවාස
ආපදාව හේතුවෙන් බොහෝ නිවාස විනාශ වුණා. අර්ධ හානිවලට ලක්වුණා. නිවාස යථාතත්ත්වයට පත්කිරීමේ වගකීම අපට තිබෙනවා. ලංකාවේ පවුල් එක්ලක්ෂ හතළිස් හතර දහසක් පමණ ආපදාවට පත්ව සිටිනවා. කඳවුරු 323ක් පවත්වා ගෙන යනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවත් වෙනස් වෙයි. මේ සියල්ලන්ගේම ප්‍රශ්න මාසයක් ඇතුළත අවසන් කර නිවාස ඇතුළු ජන ජීවිත යථාතත්ත්වයට පත්කිරීමට ජනතාව බලාපොරොත්තු වෙනවා.
ළිං පිරිසුදු කිරීම
ආපදාවට පත්නොවූ සියලුම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල කාර්මික නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි ළිං පිරිසුදු කිරීමේ කටයුකු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමටත් කටයුතු කරනවා.
ආපදා බලන්න එන්න එපා
ජනතාව ආපදා සොයාගෙන යනවා. ඇතැම් ප්‍රදේශවල තමන්ගේ පොඩි දරුවොත් රැගෙන යනවා, ආපදා ස්ථාන නරඹන්න. දෙමව්පියෝ එලෙස හැසිරෙනවා කියන්නේ මේ රටේ ඛේදජනක තත්ත්වයක්. සමහර තැන්වල අපි ඉංජිනේරු තීරණ ගන්න යනවිට අපට ඒදේවල් කරගන්න වෙන්නේ නැහැ.
මොකද ජනතාව ඇවිත් එතැන වටවෙලා ඉන්නවා. මේ නිසා ජනතාවට කියන්නේ කරුණා කරලා ප්‍රශ්න තිබෙන ප්‍රදේශවලින් ඉවත් වී සිටින්න. අපට මෙම මෙහෙයුම කරගන්න සහයෝගය ලබාදෙන්න. ඇතැම් විට පොලීසිය නිවේදනය කර තිබෙන විටත් ජනතාව එම නිවේදන නොතකා ආපදා සොයාගෙන යනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

