රජය ඡන්දය තිබිබත් දිවිනසා ගන්නවා නැතත් දිවිනසා ගන්නවා
ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ යම්යම් සිදුවීම් හේතුවෙන් පසුගිය කාලයේ විවිධ මත ගැටුම් නිර්මාණය විය. බොදු බල සේනා සංවිධානයට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර, ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ මත ඉදිරිපත් කෙරිණි.
ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සමග 'අද' කළ සංවාද සටහනකි මේ.
Q වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස?
අද දේශපාලන වාතාවරණය ඉතාම කනගාටුදායක තත්ත්වයක තියෙන්නෙ. විශේෂයෙන් අද ආර්ථිකය කඩාගෙන වැටිලා, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකි තත්ත්වයක් තියෙන්නෙ. අනෙක් පැත්තෙන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මේ රජයට වැඩපිළිවෙළක් නැහැ. ප්‍රධාන මේ කාරණා දෙක අඩපණ වෙනවා කියන්නෙ රට එක තැන පල්වෙන තත්ත්වයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නෙ.
Q යම් ආගම්වාදී ගැටලුවක් පසුගියදා නිර්මාණය වුණා. විවිධ කණ්ඩායම් බොදු බල සේනා සංවිධානයට චෝදනා කළා. ඔබවහන්සේ සිටින්නෙ කුමන මතයේද?
අපට පේන දේ තමයි රජය මේ මොහොතේ උපක්රමශීලීව අන්තවාදීන්ට ඉඩදීලා තියෙනවා. නැවත වතාවක් සිංහල බෞද්ධයන්, දෙමළ, මුස්ලිම් ජනතාව විශාල පිරිසක් දකිනවා මේ ආණ්ඩුව ප්‍රායෝගික නොවන ආණ්ඩුවක් කියලා.
එතැනදී හැම අන්තවාදී කණ්ඩායමකටම සියල්ලන්ම ඉඩදීලා තියෙනවා. සිංහල බෞද්ධ බලවේගය මහින්ද මහත්තයා යටතේ තියෙන්නෙ. එය බෙදන්න තමයි බොදු බල සේනා සංවිධානය ක්‍රියා කරන්නෙ.
Q බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඔබවහන්සේට තියෙන්නේ කුමන අදහසක්ද?
මට උන්වහන්සේ සම්බන්ධව හැමදාම විවේචනයක් තිබුණා. මට උන්වහන්සේ හැමදාම සැකයි. ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා අපි අද අමාරුවෙන් ගොඩනගා ගත් සමාදානය විනාශ කරනවා.
ලෝකය පුරාම ජාත්‍යන්තර යුදෙව් අන්තවාදීන්ගේ බලවේගයක් තියෙනවා. මුස්ලිම්වරුන්ට එරෙහිව, අපි විශ්වාස කරනවා බොදු බල සේනා සංවිධානයත් දැන හෝ නොදැන කරන්නෙත් ඒ රාජකාරියම තමයි.
Q එම සංවිධානය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයෙත් පැවතුණා නේද?
ඔව් තිබුණා, ඒ නිසානෙ බේරුවලදී සිද්ධියක් වුණේ. එතැනදී මහින්ද මහත්තයා පරාජය කිරීමට පැමිණි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විදියයි අපි එය දැක්කෙ. එතුමාගේ තිබුණු බෞද්ධකම නිසා ස්වාමීන් වහන්සේලාට දඬුවම් කරන එකට විරුද්ධ වුණා.
නමුත් අපි හැමවෙලේම එතුමාගෙන් ඉල්ලා සිටියා ස්වාමීන් වහන්සේ කියලා බලන් නැතුව නීතිය සැමට ක්‍රියාත්මක කරන්න කියලා. එය නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණේ.
Q නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා නැගෙනවා බොදු බල සේනාව බිහිකිරීමේ මූලිකත්වය ගත්තා කියලා?
එතුමා ඒකට උත්තර දීලා තිබුණා. එතුමා එහෙම ඔවුන් සමග සම්බන්ධයක් නැහැ කියලා.
Q පළාත් පාලන ඡන්දය ලබන ඔක්තෝබර් පවත්වන බවට රජය ප්‍රකාශ කරලා තියෙනවා නේද?
මම නම් හිතන්නෙ මොකක්හරි හේතුවක් කියලා, මේ පාරත් කල්දායි කියලා. මේ ආණ්ඩුව මීට කලිනුත් ඡන්දය තියෙන බව ඇඟෙව්වා, පසුව කල්දැම්මා. මේ රජය ඡන්දය තිබ්බත් දිවිනසා ගන්නවා, නැතත් දිවිනසා ගන්නවා.
මොකද තිබ්බොත් ඔවුන්ට සාධාරණ ජනවරමක් නැහැ කියලා පැහැදිලි වෙනවා. ඡන්දය නොතිබ්බොත් ප්රජාතන්තවාදී ජන අයිතිය නැතිකිරීමේ චෝදනාව උඩ ඔවුන්ට දිවිනසා ගන්න වෙනවා.
Q එම ඡන්දයේදී ඒකාබද්ධ විපක්ෂයට කුමක් වෙයිද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපය එක්ක එකතු වෙලා තරග කළත්, වෙන වෙනම තරග කළත් දෙගොල්ලොම ඉවරයි. අනිවාර්යයෙන් ඒකාබද්ධ විපක්ෂය පදනම් කරගත්තු වැඩපිළිවෙළකට තමයි ජයග්‍රහණය හිමිවෙන්නෙ.
Q මහ බැංකු මංකොල්ලය හා සම්බන්ධව තවමත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කර නැහැ නේද?
මේ වගේ ආණ්ඩු තුළින් කාටවත් පිළිසරණක් නැහැ. මේ වගේ ආණ්ඩු තුළින් පිළිසරණ තියෙන්නෙ හොරුන්ට පමණයි. මහ බැංකුව මංකොල්ලකෑවා. දැන් ඒක සාමාන්‍ය සිද්ධියක් විදියට වාර්තා යනවා මිසක් ඒවාට මුල්වුණු අගමැතිවරයා සද්දයක් නැහැ.
හොරාකාපු මිනිහා එක්ක පාටි දමමින් ඉන්නවා. නමුත් විපක්ෂයේ කෙනෙක් පොලීසියේ කෙනෙක් එක්ක වාද වුණත් රිමාන්ඩ් කරනවා. ඉතිහාසයේ දැවැන්තම හොරකම සිදුනොවුණු විදියට මේ අය කටයුතු කිරීම පිළිකුල් සහගතයි.
Q ජෝන් අමරතුංග මහතා සම්බන්ධව පසුගියදා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවුණා නේද?
ජෝන් අමරතුංග මහත්තයා මහජන දේපොළ විනාශ කළා. පස්සෙ ආයේ ඒවා හැදුවා කියලා සමාව ලැබෙන්නෙ කොෙහාමද? ඊළඟට මාධ්‍යවලට පරුෂ වචනයෙන් බැණවැදිලා මර්ණීය තර්ජන කළා.
යහපාලනය ගෙන එනවා කියලා බලයට ආපු මේ අය අද කරන්නෙ මොනවද කියලයි අපි අහන්නෙ. ඒ නිසා කණ්ඩායම් දෙකක් එකතු වෙලා රටට කරන මේ විනාශය ඉතාම බරපතළයි.
Q ආපදා ව්‍යවසනයක් රටේ තිබුණු වෙලාවක අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පැවැත්වීම සම්බන්ධව විවිධ පාර්ශ්ව රජයට චෝදනා එල්ල කරනවා?
ඇත්තටම ඔව්. අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් වෙච්ච දෙයක් නැහැ. යහපතක් වෙනවානම් ඕන වෙලාවක කළාට කමක් නැහැ. නමුත් මේකෙන් යහපතක් නැහැ. අද ලෝකයේ හොඳම මුදල් ඇමති කිව්ව කෙනා පැත්තක දාලා ආර්ථිකය ගැන කිසිම දෙයක් දන්නෙ නැති ආගන්තුකයෙක් මුදල් ඇමති කරලා තියෙනවා.
අනිත් පැත්තෙන් මංගල සමරවීර වගේ කෙනෙක් මාධ්‍ය ඇමති කරලා මහ බැංකු වංචාවෙන් හොරකම් කළ මුදලින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මිලදී ගනිමින් ඉන්නවා.
Q ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
මේ ආර්ථික ව්‍යාකූල තත්ත්වයෙන් රට මුදවා ගැනීමට ඉහළ බුද්ධිමතුන්, දේශපාලඥයන් ලවා ප්‍රායෝගික වැඩසටහන් සංවිධානය කිරීමට සහ ආගමික ගැටලු යළි ඇතිනොවීමට යම් වැඩසටහනක් ඒකාබද්ධ විපක්ෂය හැටියට අප ඉදිරියේදී ඉදිරිපත් කරනවා.
මොකද මේ අයට මේක කරන්න බැරිනම් ජනතාව වෙනුවෙන් අප ඒදේ කළ යුතුයි. මේ රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒකාබද්ධ විපක්ෂය හැටියට එය අපට ලොකු අභියෝගයක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

