මේ වෙලාවේ විශ්වාස කරන්න පුළුවන් තෙවරප්පෙරුම විතරයි
නිරිතදිග මෝසම් සුළං ක්‍රමයෙන් වර්ධනය වීමත් සමග පැමිණි මෝරා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ඇති කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ දිස්ත්‍රික්ක 15ක් ආපදාවට ලක්වෙමින් පුද්ගලයන් 203 දෙනෙකුගේ දිවි අහිමි කිරීමය. තවත් 96ක් අතුරුදන්ව ඇති අතර, පුද්ගලයන් ලක්ෂ 06ක් පමණ මේ හේතුවෙන් පීඩාවට ලක්වී තිබේ.ආපදා තත්ත්වය වාර්තා වූ අවස්ථාවේ සිට ජනතාව පීඩාවෙන් මුදවා ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ක්‍රියාත්මක විය. කිසිම ආකාරයකින් ළඟා විය නොහැකි ස්ථාන වෙත පවා ජීවිත පරදුවට තබමින් ළඟා වෙමින් ජීවිත බේරාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතාවගේද, දේශපාලන අධිකාරියේ මෙන්ම, සියලුමදෙනාගේ ප්‍රශංසාව ඔවුන්ට හිමි විය.
තෙවරප්පෙරුම වැඩට බසියි
සහන කණ්ඩායම් එනතුරු බලා නොසිට ආපදාවට පත් ජනතාව මුදාගැනීමට නියෝජ්‍ය අැමති පාලිත තෙවරප්පෙරුම කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය. ජනතාව මුදාගැනීම, මළසිරුරු රෝහල් වෙත ගෙනයාමට, ආරක්ෂිත ස්ථානවලට ගෙන ගිය ජනතාවට සහන සැලසීමට රැයක් දවාලක් නොතකා තෙවරප්පෙරුම වෙහෙසුණේය.
සන්නිවේදන කටයුතු දුර්වල වීම තුළ ඇතැම් විට මුදාගැනීමේ කණ්ඩායම් පැමිණීම ප්‍රමාද වූ අවස්ථාවක ඔවුන්ට බැණ වැදුණු පාලිත එම කටයුතු ඔහු විසින්ම කරන්නට වූ අතර, ඔහුගේ රථයේ රියදුරා වූයේද නියෝජ්‍ය ඇමතිය.
ලකුණු දාගන්න නෙවෙයි සහන දෙන්න ආවේ
විපතට පත්වූ ජනතාව වෙත සහන සැලසීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකද ආපදා සිදුවූ ප්‍රදේශ වෙත ගිය අතර, ඔහු ගාල්ල, නෙළුව ප්‍රදේශයට යන විට රාත්‍රිය උදාවී තිබුණි.ලොරි දෙකක සහනාධාර රැගෙන ගිය දුමින්ද ඒවා ජනතාවට බෙදා දෙන අවස්ථාව වනවිට එය වාර්තා කිරීමට කිසිවෙකු පැමිණ නොසිටි බැවින් අසල සිටි අමාත්‍යවරයා අසල සිටි තරුණයෙකු පැවසුවේ,
'සර් මීඩියා අය කවුරුත් නැහැ නේ' යනුවෙනි.
එය අනුමත නොකළ දුමින්ද ඔහුට බැණ වැදුණේ
'මීඩියාවලට කියන්න ඕන නම් කැමරාවක් ඉස්සරහ මේ බඩු ටික දෙන්න තිබුණනේ. මිනිස්සුන්ට උපකාර අවශ්‍ය නිසයි මෙහෙට ආවේ. කිසි මීඩියා එකකට කියන්න එපා. අපි ආවේ මිනිස්සුන්ට උපකාර කරන්න විතරයි' යනුවෙනි.
එසේ පැවසූ දුමින්ද එම ප්‍රදේශයේ ජනතාවට ආධාර බෙදා දුන් අතර, පසුව රත්නපුර ප්‍රදේශයේද අවතැන් ජනතාව හමුවීමට ගියද කිසිදු මාධ්‍යයකට මේ බව නොපැවසීමට කටයුතු කිරීම විශේෂත්වයක් විය.
පාලිත විතරයි විශ්වාස
දිස්ත්‍රික්ක පහළොවකට විපත් ගෙන දෙමින් සිදුවූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විශාල පිරිසක් අසරණභාවයට පත්වූ ආකාරය දැක රට පුරාම ඔවුන් වෙනුවෙන් සහනාධාර එකතු කිරීමට විවිධ පිරිස් මූලිකත්වය ගෙන කටයුතු කළ ආකාරයක් දැකගැනීමට ලැබුණි. මේ අතර වෙන්නප්පුවේ ව්‍යාපාරිකයන් පිරිසක්ද විපතට පත් ජනතාවගේ නිවාස පිළිසකර කිරීම සඳහා අාධාර එකතු කළ අතර, ඔවුන් එය භාරදීමට තීරණය කර තිබුණේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම වෙතටය. ඔහු ආපදා තත්ත්වයේදී කැපවී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඔවුන් පැහැදී සිටි අතර,
'මේ වෙලාවේ විශ්වාස කරන්න පුළුවන් තෙවරප්පෙරුම විතරයි. ඒ නිසා අපි මේ මුදල් සහනාධාර තෙවරප්පෙරුමට දෙන්න තීරණය කළා' යනුවෙන් පැවසීය.
නවයෙන් හයක්ම ගාල්ලට
ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාව මුදාගැනීමට සහන සැලසීමට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 09ක් යොදා තිබුණද, ගාල්ල ප්‍රදේශය නියෝජනය කරන එක් ඇමතිවරයෙක් හෙලිකොප්ටර් යානා 06ක්ම වෙන් කරගෙන තිබීම හේතුවෙන් අනිකුත් දිස්ත්‍රික්ක 06 තුළම සහන සේවාවන් සඳහා යොදා ගැනීමට හැකිවූයේ හෙලිකොප්ටර් යානා 03 ක් පමණි. සහන කණ්ඩායම් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණි. මේ අතර එම අමාත්‍යවරයාම හෙලිකොප්ටර් යානයකින් ගොස් ගාල්ල ප්‍රදේශයේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පාන් ගෙඩි 36ක් බෙදා ආපසු පැමිණීම පිළිබඳව ජනතාවගේ අප්‍රසාදයට ලක්විය.
බලන්න ආවට ස්තුතියි
ආපදා කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවන්ට වැඩි බරක් පැටවුණ බැවින් ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කයන් වෙත ගොස් තොරතුරු සොයා බලා අවශ්‍ය සහයෝගය දීමට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන කටයුතු කළේය. ඔහු නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කය මෙන්ම ඔහුගේ ආසනය වන බියගම ආසනයේද කොටසක් ආපදා තත්ත්වයට ලක්වී තිබුණද ඒ කටයුතු සොයා බලන අතරම අනෙක් දිස්ත්‍රික්ක වෙත යෑමට ඔහු කටයුතු කළ අතර, ත්‍රිවිධ හමුදාවේ සහන කණ්ඩායම් සමග සාකච්ඡා කර ඔවුන්ව අගයමින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමටද ඇමති රුවන් අමතක නොකළේය.
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරුප්පෙරුම සොයා රාජ්‍ය ඇමති රුවන් බුලත්සිංහල දුෂ්කර ගම්මානයකට ගිය අතර, ඒ වනවිට තෙවරප්පෙරුම සිටියේ ජලයෙන් යටවී තිබූ එම ප්‍රදේශයේ ජනතාවට ආහාර බෙදමිනි. වැස්සට තෙමුණද ඒ කිසිවක් පිළිබඳ සැලකිලිමත් නොවී තෙවරප්පෙරුම කටයුතු කළ ආකාරය ඇමති රුවන් බලා සිටි අතර, තෙවරප්පෙරුම අසලට ඇමති රුවන් පැමිණි විගස ඔහු සතුටින් වැලඳ ගත්තේය.
'රුවන් තමයි මාව මුලින්ම බලන්න ආවේ. අපේ ප්‍රදේශයේ මිනිස්සු අසරණ වෙලා. මම එයාලට පිහිට වුණා. මාව බලන්න ආවට රුවන් ඇමතිතුමාට ස්තුතියි.'
ඇමති රුවන්ට කොළඹ හිතවතුන්ගෙන් ලැබුණු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ලොරියක් පාලිත තෙවරප්පෙරුමට යොමු කළ අතර, තවත් සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතුද සම්පාදනය කර දුනි.
ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන්ගේ බෙහොම සමීපතම මිත්‍රයෙකු වන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාගේ ප්‍රදේශයද ආපදාවට මුහුණදී තිබුණ නිසාවෙන් අවස්ථා දෙකකදී මිල්ලනිය ප්‍රදේශය වෙත ගොස් එම කටයුතු සොයා බැලීමට ඇමති රුවන් කටයුතු කළේය.
රාජිත කියූ රහස
ජනාධිපති මෛත්‍රී සිය ඔස්ට්‍රේලියානු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන විට ලංකාවේ ආපදා තත්ත්වය උත්සන්න වී තිබුණි. ආපදාව පිළිබඳ යම් යම් තොරතුරු ඒ වනවිටත් ලැබී තිබුණු අතර, ලංකාවට පැමිණි පසු කළුතර දිස්ත්‍රික්කයේ ආපදාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා මුලින්ම කළුතරට පැමිණියේ ඇමති අජිත් පී පෙරේරාගේ ඉල්ලීමකට අනුවයි.
ඉරිදා දිනයේදී කළුතර පැවැති සාකච්ඡාවට පැමිණි ජනාධිපතිවරයා සිය මෝටර් රථයෙන් බසිනවිටම ඇමති රාජිත ගොස් යම් රහසක් පැවසූ අතර, එයට සවන් දුන් ජනාධිපතිවරයා අදාළ ස්ථානය වෙතට පැමිණෙනවා වෙනුවට දිසාපතිවරයාගේ කාර්යාලයට ගියේය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කර රැස්වීමේ වාඩිවෙමු කියා රාජිත ජනාධිපතිවරයාට රහසින් කියා තිබුණි. ඒ අනුව එසේ සාකච්ඡාකර ඔවුහු යළි රැස්වීමට පැමිණියහ.
අමාත්‍යාංශවල මුදල් ගන්න එපා
අගමැති රනිල් වික්‍රමසිංහ විදෙස්ගතව සිටියද මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව පැවැත්විය. ආපදා තත්ත්වය හේතුවෙන් එය පැය එකහමාරක පමණ කාලයකින් අවසන් විය.එහිදීද වැඩි වශයෙන් සාකච්ඡා වූයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙනි.
පවතින ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා සියලුම අමාත්‍යාංශයන්ට වෙන් කළ මුදල්වලින් සියයට පහක් හෝ දහයක් කපා හැර එම මුදල් ආපදාවට ලක්වූ ප්‍රජාවට සහන සැලසීමට යොදාගත යුතු බවට ජනාධිපති මෛත්‍රී යෝජනා කළේය.නමුත් විදෙස් ඇමති රවී ඒ සඳහා එකඟතාවයක් පළ නොකළ අතර, ඔහු පැවසුවේ
'අමාත්‍යාංශවලින් එහෙම මුදල් කපන්න එපා. සමහර අමාත්‍යාංශවල වැඩ නොකර මුදල් අතිරික්ත වෙලා තිබෙනවා. ඒ මුදල් අරගෙන ආපදාවට යොදාගන්න පුළුවන්. එහෙම උනොත් සංවර්ධ කටයුතුවලට බාධාවක් නොවේවි'
රවීගේ එම යෝජනාවට බොහෝදෙනාගේ අනුමැතිය තිබූ බැවින් පවතින ආපදාවේ බරපතළකම පිළිබඳ සාකච්ඡාවෙන් පසුව ආපදාව පවතින ප්‍රදේශයන්ට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සුදුසු බව ජනාධිපතිවරයා යෝජනා කළේය.
හදිසි තත්ත්වයක් එපාද?
නමුත් එහිදී බොහෝ ඇමතිවරුන් කියන්නට වූයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත් ජාත්‍යන්තරව ගැටලු මතුවිය හැකි බවයි. එසේ වුවහොත් එම තත්ත්වය පාලනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවද අමාත්‍යවරු විමසන්නට පටන් ගත්හ. එසේ වුවද ජනාධිපතිවරයා පවසන්නට වූයේ හදිසි තත්ත්වයක්ම ප්‍රකාශයට පත්කළහොත් විදේශ ආධාර ඩොලර් මිලියන 100ක් ක්ෂණිකව ලැබෙන බවයි. එලෙස ලැබෙන මුදල් ආපදාවට පත්වූ ජනතාවගේ නිවාස සාදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපතිවරයා පවසන්නට විය.
ජනාධිපතිවරයාගේ එම පැහැදිලි කිරීමෙන් පසුව ආපදා ප්‍රදේශයන්ට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ආමාත්‍ය මණ්ඩලය එකඟ විය. ඉන්පසුව අදහස් දක්වමින් ඇමති චම්පික රණවක පැවසුවේ,
'මෝරා සුළි කුණාටුව බංග්ලාදේශයට එන බව දැනගෙන බංග්ලාදේශ රජය ජනතාව ඉවත් කරලා ජනජීවිත සුරක්ෂිත කළා. ලංකාවට ආවෙත් සුළි කුණාටුවක්. නමුත් මේ පිළිබඳව අපේ කාලගුණ දෙපාර්තමේන්තුව රට දැනුවත් කළේ නැහැ. මේ විදිහට දැනුවත් නොකළේ ඇයිද කියන කාරණය හොයල බලන්න වෙනවා. ඒ වගේම තමයි රක්ෂිත ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් බොහොම වැඩි වෙලා. ආපදා ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ මේ කාරණය. ඔවුන් ඉවත් කරන්න යම් වැඩපිළිවෙළක් අරගන්න වෙනවා. අපි ඒ ගැන දැඩි තීන්දු දැන්වත් ගත යුතුයි.'
ඇමති චම්පිකගේ පැහැදිලි කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි අතර, අනවසර පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමටත්, ඔවුන්ට රජයේ වියදමින් වාසස්ථාන ලබාදීමටත් කැබිනට් මණ්ඩලය එකඟ විය.
මුදල් ඇමති මංගල සමරවීර ආපදාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ,
'ආපදා කළමනාකරණය හොඳින් සිදුවෙනවා. ජනතාවගෙන් විවේචන එල්ලවෙන්නේ නැහැ. සහනාධාර නිසි ලෙස දෙමින් තිබෙනවා. ඒ වගේම මාධ්‍ය හොඳින් මේ පිළිබඳ වාර්තාකර තිබෙනවා'
එයට එකඟව අදහස් දක්වමින් ඇමති කබීර් හෂීම් පැවසුවේ,
'අගමැතිතුමාගේ උපදෙස් අනුව අරලියගහ මන්දිරයේදී රැස්වීමක් පැවැත්වුවා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සලසන්නේ කොහොමද කියන කාරණ සම්බන්ධයෙන්. ඒ අනුව රුපියල් බිලියන 02ක සහන ණය ලබාදෙන්න තීරණය කළා.'
රත්නපුරයට පාඩමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ඇමති නිමල් සිරිපාල පැවසූ කාරණය දෙස කැබිනට් මණ්ඩලයේ අවධානය දැඩිව යොමු විය.
'මම වාරිමාර්ග ඇමති කාලේ රත්නපුර ගංවතුර තත්ත්වය පාලනය කරන්න මල්වල ජලාශ යෝජනා ක්‍රමය ආරම්භ කළා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න යද්දී රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයෝ සහ ජනතාව මට හූ කිව්වා. ඒ හූ කියපු ප්රතිවිපාකටය තමයි මේ අය වන්දි ගෙවන්නේ. මල්වල ජලාශය ක්‍රියාත්මක වුණා නම් රත්නපුර ගංවතුර බොහොම හොඳින් පාලනය කරන්න තිබුණා.'
මේ කාරණය පිළිබඳවද අවධානය යොමු කරමින් ජනාධිපති සිරිසේන විසින් අමාත්‍යවරුන්ට වාහන ගෙන්වීමේ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අදහස් දක්වන්නට වූයේ මේ සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිව තිබූ නිසාමය.
රථගායට තිත
'මේ ආපදා තත්ත්වයත් සමගම වාහන ගෙන්වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ නිසා මේ වසරට වාහන ගෙන්වීම නැවැත්වීම සුදුසුයි' යනුවෙන් ජනාධිපති මෛත්‍රී පැවසීය.
'අලුතින් වාහන ගෙන්වීම වහාම නතර කරන්න. මම උනත් වියදම් අඩුකරනවා. ජනාධිපති කාර්යාලයේ වියදම් පවා අඩුකරනවා. මගේ ආරක්ෂක රථ පවා අඩුකර වියදම් අඩුකරන්න මම සූදානම්'
ජනාධිපතිවරයාගේ යෝජනාවට කැබිනට් මණ්ඩලය එකඟ වූ අතර, එහිදී ඇමති හරීන් ප්‍රනාන්දු තවත් යමක් මතක් කර දෙන්නට උත්සාහ කළේය.
'මහින්ද අමරවීර ඇමතිතුමා කියලා තියෙනවා වාහන ගෙන්වන්නේ අනිත් ඇමතිවරුන්ට අවශ්‍ය නිසා, එතුමා ඒ යෝජනාවට විරුද්ධයි කියලා. එහෙම කියන එක වැරදියි. මොකද වාහන ගෙන්වීම කැබිනට් තීන්දුවක්. තමන්ගේ ඇඟ බේරාගන්න මේ විදිහට කටයුතු කරන එක වැරදියි.
ඒ වගේම අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අලුතින් සල්ලි හොයන්න වෙනවා. අයවැය ලේඛනයෙන් මුදල් ගන්න වෙනවා. ඒ නිසා ඇත්තටම පරිපූරක ඇස්තමේන්තු අවශ්‍ය නැහැ. ඒකට අපි එකඟයි'
ඒ අනුව වාහන ගෙන්වීමේ යෝජනාව අත්හිටුවීය.කැබිනට් මණ්ඩලය අවසන් වූ වහාම ආපදා පිළිබඳ ජාතික සභාව රැස්වූ අතර, එහි සභාපතිවරයාද වන්නේ ජනාධිපතිවරයායි.
මෙහිදී මුදල් ඇමති මංගල සමරවීර පැවසුවේ,
'ඇතැම් මාධ්‍ය තුළ ජනතාවට සහන නොලැබුණ බවට වැරදි ප්‍රවෘත්ත විකාශය කර තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත්'
ඇමති රාජිත සේනාරත්නද එහිදී පැවසුවේ,
'ආපදාවේදී ජනතාව බේරාගන්න එයට මුහුණ දෙන්න උපරිම කැපවීමෙන් කටයුතු කළා. අසත්‍ය කතා අඩුවෙන් තමයි සිදුවුණේ. ඒ වගේම අපි දවසට මාධ්‍ය හමු දෙක බැගින් පවත්වලා අවශ්‍ය නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කළා. හානිය වගේම රජය සිදුකළ දේ රජයෙන් සිදුවුණ අඩුපාඩු ගැනත් අපි කිව්වා. මේ නිසා ගැටලුවක් නැහැ.'
අග්‍රාමාත්‍යවරයා ලංකාවේ නොමැති වීම නිසාම කථානායක කරු ජයසූරිය ආපදා තත්ත්වයේදී සම්බන්ධීකරණ කටයුතු සඳහා දායක වීම විශේෂ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන් කැඳවා කථානායකවරයා සාකච්ඡා නොපවත්වන අතර, ආපදාවේදී කළුතර, ගාල්ල දිස්ත්‍රික්කයන්හී රාජ්‍ය නිලධාරීන් කැඳවා සහන සැලසීම් සම්බන්ධයෙන් කථානායකවරයා සාකච්ඡා පවත්වා අවශ්‍ය සහන සැපයුම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට පෙරමුණ ගත්තේය. දේශපාලඥයන් නොකැඳවා රාජ්‍ය නිලධාරීන් පමණක්ම හමුවීමට කථානායකවරයා කටයුතු කිරීමද සුවිශේෂී විය.
වජිර ගයන්ත වෙනවෙනම ලංකාගමට
ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මානයකට සිදුවූ වැඩිම හානිය සිදුව ඇත්තේ ගාල්ල ලංකාගම ගම්මානයට වන අතර, සිංහරාජ වනාන්තරය ආසන්නයේ ඇති මෙම ගම්මානය දුෂ්කර ගම්මානයකි. එමෙන්ම ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වූයේද මෙම ගම්මානය ආශ්‍රිතවය. මෙම ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳ පිරික්සීමට ඇමති ගයන්ත සහ ඇමති වජිර යායුතුව තිබුණද ඔවුන් දෙදෙනා වෙන වෙනම එම ස්ථානය වෙත යාමද විශේෂත්වයකි.
ඇමති වජිර, මනූෂද සමග ගුවනින් ලංකාගමට පැමිණි අතර, පසු දින ඇමති දයා ගමගේට අයත් හෙලිකොප්ටරයකින් ගයන්ත සහ දයා ගමගේ ලංකාගමට පැමිණ, ජනතාවගේ කටයුතු සොයා බලා සහන සැලසීමට කටයුතු කළහ.
සහන එකතු කිරීමේ තරගය
රටට ආපාදා තත්ත්වයක් ඇතිවූ අවස්ථාවක ආණ්ඩුවේ සහ මාධ්‍යයේ හැසිරීම පිළිබඳවද ජනතාව අතර දැඩි කතාබහක් ඇතිව තිබුණි.
සහනාධාර ද්‍රව්‍ය එක්රැස් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුර නම්කර තිබුණද බොහෝ විද්‍යුත් මාධ්‍ය තුළින් මෙම කාරණය සන්නිවේදනය නොවීම විශේෂත්වයක් විය. සැබැවින්ම කිසිදු බාධාවකින් සහ සැකයකින් තොරව සහනාධාර හමුදාව වෙත ලබාදීමට හැකියාව සලසා තිබීම වැදගත්ය. නමුත් මෙම පණිවුඩය ජනතාව අතරට නොගිය බැවින් බොහෝදෙනා වෙනත් ස්ථාන වෙත සහනාධාර ලබාදීමට පෙළඹුණි.
එමෙන්ම ආපාදා අවස්ථාවකදී මාධ්‍යයේ කාර්යය වන්නේ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමය. සහන එකතු කිරීම රජයේ කාර්යයක් බව බොහෝ ජනතාව තුළ පැවති මතයකි. එසේ වුවද ජනතාව දැනුවත් කිරීමේ කටයුත්ත මාධ්‍ය තුළින් අඩුවෙන් සිදුවූ අතර, සහනාධාර එකතු කිරීමට ඔවුන් වැඩි ඉඩක් වෙන්කර තිබීම පිළිබඳවද ජනතාව අතර කතාබහක් ඇතිවී තිබුණි.
එක්තරා රූපවාහිනී නාළිකාවක් සංවිධානය කළ සතියේ දේශපාලන සංවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ සම්බන්ධයෙන් අදහසක් දක්වමින් පැවසුවේ, සහනාධාර බෙදන්න මාධ්‍ය ආයතන අතර තිබෙන තරගය නිසා ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි. ඒ අවස්ථාවේදී රූපවාහිනී නාළිකාවේ නිවේදකයන් මන්ත්‍රී බිමල්ට බොහෝ චෝදනා එල්ල කළ අතර, මන්ත්‍රී බිමල් මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි.
'පහුගිය කාලෙම මේ දේවල්වලට මාධ්‍ය ආයතන අතර දැඩි තරගයක් තිබුණේ. ආපදාවකදී පීඩාවට පත් ජනතාවට යමක් කිරීමට සන්නිවේදන ශක්තිය පාවිච්චි කරලා සංවිධානය වෙන එක හොඳයි. නමුත් හැමදේ ගැනම පොදු චිත්‍රය මාධ්‍ය විසින් ජනතාවට කියන්න අවශ්‍යයයි. ආපදාව ගැන, පීඩාවට පත් ජනතාව ගැන වගේම ඔවුන්ට ලැබෙන සහන දීමනා ආධාර ගැනත් පොදු චිත්‍රයක් ජනතාවට පෙන්විය යුතුයි. මොකද ඔවුන් පාවිච්චි කරන්නේ මහජනතාවගේ විකාශන සංඛ්‍යාත. නමුත් මාධ්‍ය ආයතනවල තරගය නිසා පොදු චිත්‍රයක් පෙන්නන්නේ නැහැ. ඔවුන්ගේ දේවල් පමණයි පෙන්වන්නේ.
මේ වගේ ආපදාවකදී ආණ්ඩුවට බැණලා වැඩක් නැහැ. අපි මිනිස්සු බේරගන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි තම තමන් පෞද්ගලිකව සිදුකරන කටයුතු කළාට කමක් නැහැ. ඒකෙ වරදක් නැහැ. නමුත් හැමදේම ජනතාවට සන්නිවේදනය කළ යුතුයි.
රත්මලානේ සහනාධාර එකතු කරන මධ්‍යස්ථානය ගැන මාධ්‍යයෙන් කිව්වෙ අඩුවෙන්. ඒ වගේම තමයි එතැන පිසූ ආහාර එකතු කරන්න එපා කියල කිව්වා. එකතු කරපු කෑම පාර්සල් විසිකරන්න සිදුවුණා. මේ කිසිදෙයක් ජනතාවට සන්නිවේදනය කළේ නැහැ. ඒ වෙනුවට සහන එකතු කරන්න මාධ්‍ය පොර කෑවා. බුදුහාමුදුරුවන්ගේ ධාතු පෙන්වන්නත් මාධ්‍ය මේ විදිහටම අනවශ්‍ය තරගයක්නේ තිබෙන්නේ'
කෙසේ හෝ අදාළ රූපවාහිනී නාළිකාව පසුව මෙම කරුණු පිළිගත් බව පවසමින් මන්ත්‍රී බිමල්ගෙන් සමාව ගෙන තිබුණේ ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.
රාජිතට ජනපති දුන් උපන්දින තෑග්ග
ඇමති රාජිතගේ උපන් දිනයද මේ සතියේම යෙදී තිබූ අතර, උදෑසනම රාජිතට සුබපැතුම් එක් කළේ ජනාධිපති සිරිසේනයි. සුබපැතීමෙන් පසුව එදින රාත්‍රියේ තමා සමග භෝජන සංග්‍රහයකට එක්වන ලෙසද ජනාධිපතිවරයා රාජිතට ආරාධනා කළේය.
ජනාධිපතිවරයාගේ ආරාධනය අනුව ආපදා තත්ත්වය යටතේ වුවද ජනාධිපති නිල නිවසට පැමිණ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වූ රාජිත ඉන්පසුව දේශපාලන තත්ත්වය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට යෙදුණි.
ආණ්ඩු වෙනස පිළිබඳ පවසමින් ජනාධිපතිවරයා රාජිතට පැවසුවේ,
'අපි දෙන්නා මුහුදට පැන්නා වගේ වැඩක් මේ කළේ .පොදු අපේක්ෂකයා විදිහට මොනතරම් අභියෝගවලට අපි මුහුණ දුන්නද?' කියමින් ජනාධිපති සිරිසේන අතීතය මතක් කරන්නට විය.
'අපිට බලය දුන්නු ජනතාවට පොරොන්දු වුණ දේවල් අපි අනිවාර්යයෙන්ම ඉටුකරන්න අවශ්‍යයි' කියාද ජනාධිපතිවරයා කීවේය.
අගමැති කොහේද ගියේ?
ආපදා තත්ත්වය තුළ අගමැතිවරයා මෙරට නොසිටීම සම්බන්ධයෙන් බොහෝදෙනා ප්‍රශ්න කරන්නට වූ අතර, ආපදාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා පැවැති මාධ්‍ය හමුවලදී වරෙක මේ සඳහා පිළිතුරු ලබාදීමට අමාත්‍යවරු කටයුතු කළහ.
'අගමැතිවරයා විදෙස්ගත වුණේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. එතුමා විවිධ හේතූන් නිසා ප්‍රතිකාර ලබාගැනීම මාස 18ක් විතර කල්දාන්න වුණා. අගමැතිතුමා ලංකාවේ නැති වුණත් සෑම පැය 06කට වරක්ම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපට උපදෙස් දෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ.'
මේ වැඩ නවත්තලා ඇමතිව ගේන්නන්ද?
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ලංකාවේ නොමැති වීමද දිගින් දිගටම ප්‍රශ්න කරන කරුණක් බවට පත්ව තිබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසන අවස්ථාවේ එයට පිළිතුරු දුන්නේ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දයි.
“අනුර යාපා ඇමතිතුමා මෙක්සිකෝ ගියේ ආපදා කළමනාකරණ සමුළුවකට. එක්සත් ජාතීන් විසින් පවත්වන මේ සමුළුවට ඇමතිතුමා යායුතුව තිබුණා. ඒ වගේම එතුමා ගියේ මේ ආපදාවට කලින්. සමුළුව ඉවරවෙලා ඍජු ගුවන් ගමනකින් එතුමා ලංකාවට ආවත් පැය 30ක් විතර යනවා. ඔබතුමාලට ඇමතිතුමාවම ඔනෙනම් අපි මේ තියෙන වැඩ නවත්වලා ඒ මුදල් වියදම් කරලා ඇමතිතුමාව ගෙනත් දෙන්නම්.
ඇමතිතුමා යද්දි මාව වැඩබලන ඇමති ලෙස පත්කරලා ගියේ.
ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළු ඇමති මණ්ඩලයක් අපේ අමාත්‍යාංශයේ නිලධාරීනුත් එක්ක අපි ආපදා කළමනාකරණ වැඩකටයුතු බොහොම වේගවත්ව සිදුකළා. ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් තිබෙනවානම් කියන්න' යැයි ඇමති ගන්කන්ද පවසන විට ඔවුන් සියල්ලෝම නිශ්ශබ්ද වූහ.
සුපිරි හෝටලයක රහස් සාකච්ඡාවක්
පසුගිය පාලන සමයේ ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ හිටපු අධ්යක්ෂයෙක් සහ හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයෙක් සහ වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් කොළඹ සුපිරි හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වී සිටියහ.
රාජපක්ෂ පවුලට තිබෙන නඩු සහ චෝදනා යටපත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමට අමාත්‍යවරයාට උපදෙස් දීම මෙම භෝජන සංග්‍රහයේ අරමුණ වී තිබිණි. සාමකාමීව භෝජන සංග්‍රහය පැවැත්වුණ අතර, නීතියට අනුව සිදුවන දේ සිදුනොකර ගැනීම ඇතුළු බොහෝ සාකච්ඡාවන් හා අදහස් යෝජනා මෙහිදී ඉදිරිපත් විය. භෝජන සංග්‍රහය අවසානයේ අදාළ අමාත්‍යවරයා මෙම කරුණු සඳහා නම්‍යතාවක් දැක්වූ බැවින් අමාත්‍යවරයාට ළඟදීම විදෙස් සංචාරයක් ලබාදීමටද ඔවුන් එකඟතාව පළකර තිබේ.
දියවන්නා රාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

