මේ මොහොතේ අලුතින් දේශපාලනයට එන හැමෝටම සංඥා එළියක් තිබෙනවා - සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල යනු කලින් කල විවිධ සිදුවීම් හරහා සමාජය තුළ නිතරම කතාබහට ලක්වන චරිතයකි. ගුරුවරයෙකු, දේශකයෙකු, සාහිත්‍යවේදියෙකු, නිර්මාණකරුවෙකු මෙන්ම විටක මාධ්‍යවේදියෙකු ලෙසද චරිත මවන ඔහු මෙවර දේශපාලඥයෙකු ලෙස වෙනස්ම චරිතයක් තුළින් සමාගතව සිටියි. ඒ ඔහු එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමත් සමගිනි. මීට පෙරද දේශපාලනයට පැමිණීමට ආරාධනා ලැබුණද තමන් ඒවා ප්‍රතික්ෂේප කළ බව ඔහු විසින්ම කිහිප වරක් පවසා තිබිණි. එවන් වාතාවරණයක මෙවර ඔහු දේශපාලනයට පැමිණීමේ අරමුණ කුමක්දැයි විමසීමට 'අද' අපි අදහස් කළෙමු. මේ ඒ වෙනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග සිදුකළ සංවාදයකි.
Q ඉදිරියේදි එන මහ මැතිවරණයට ඔබ සූදානම්ද?
ඔව්. සූදානම්
Q ඔබෙන් ඉගෙනගත් දරුවන්ගෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින සියලු දෙනාගේම ඡන්දය ඔබට ලැබෙයි කියා විශ්වාස කරනවාද?
නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් ඒ උගන්වපු ප්‍රමාණයම මට ලැබෙනවා කියා අනිත් පැත්තෙන් මට තර්කයක් තිබෙනවා. අපි හිතමු මම උගන්නපු ළමයින් ප්‍රමාණය 25,000 ක් කියලා. ඒ තුළින් එක්සත් ජාතික පක්ෂය සහ මා කෙරේ ළැදියාවක් තිබෙන අඩුම 10,000 ක් පමණ සිටිනවා. ඒ ළමයින් බොහෝ දෙනා මේ වනවිට විවාහ වෙලා. එතනම ඡන්ද එක දෙක වෙනවා. එතකොට ඡන්ද 20,000 ක්. ඒ වගේම ඔවුන් තවත් එක් ඡන්දය ගානේ මට උපයා දුන්නොත් උගන්වපු ගණනටම මට ඡන්ද ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
Q සිංහල භාෂාව උගන්වපු ගුරුවරයෙකුට දේශපාලඥයෙක් වෙන්න පුළුවන්ද?
සිංහලවත් උගන්වලා නැති අය කොහොමද දේශපාලනය කළේ කියන දේ තමයි මගේ උත්තරය. එහෙම නැත්නම් අටවත් පාස් වෙලා නැති අය කොහොමද ලංකාවේ දේශපාලනය කළේ කියන එකත් මගේ ප්‍රශ්නයක්. දේශපාලන ඉතිහාසයක් නැති අය පැරෂුට් එකකින් ඇවිත් දේශපාලනය කළේ කොහොමද කියන එකත් ඒ අනුව ගැටලුවක්. මේ ගැන කතා කරද්දි මට වාසි සහගත වන ඡායාරූපයක් මුහුණුපොතේ (Face book) පළ වී තිබුණා. ඒ තමයි විජය කුමාරතුංග මහත්තයා මියගිය වෙලාවේ ගත්ත ඡායාරූපයක්.
එතකොට මම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර සිසුවෙක්. දැන් දශක තුනක්. අවුරුදු 30කට විතර කලින් වර්ධරාජා පෙරුමාල්ගේ උතුරේ කරපු ප්රකාශනය නිදහස් චතුරශ්‍ර‘යේ ගත්තු පින්තූරය සමග දාලා තිබුණා මම ඊලාම් සමුළුවකදී කළ දේශනයක් කියලා. ඒ ඡායාරූපය නිවැරදියි. තොරතුරු වැරදියි. ඒ ඡායාරූප ඊළාම් සමුළුවකදි ගත්තු එකක් නෙවෙයි. විජය කුමාරතුංග මහත්තයාගේ අවමංගල්‍ය උත්සවයේදී නිදහස් චතුරශ්‍රයේදී ගත්තු ඡායාරූපයක්.
ඒ ඡායාරූපය පිටුපස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, කාලෝ ෆොන්සේකා මහත්තයාත්, වාසුදේව නානායක්කාර මහත්තයත් ඉන්නවා. වික්‍රමබාහු කරුණාරත්න මහත්තයත් ඉන්නවා. ඒ වගේම ගාමිණී ෆොන්සේකත් ඉන්නවා. මේ එකක්වත් නොකියා අර කතාව කියූ ගමන්ම තේරෙනවා මට සිංහල උගන්වලා විතරක් නොවෙයි දේශපාලන ඉතිහාසයකුත් තියෙනවා නේද කියන කාරණය. මට දේශපාලන ඉතිහාසයක් තිබුණා කියන දේ දන්න අය දන්නවා. කෝකටත් කරල බලමු.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටි ඔබ ධනවාදී පක්ෂයකින් දේශපාලනයට පැමිණීමට අදහස් කළේ ඇයි?
ජේ.ආර්. ජයවර්ධන කියන්නේ කොළඹ නීති පීඨයේ ඉගෙනගන්නා කාලයේ සමසමාජ පක්ෂයේ තරුණ සමුළුවේ ලේකම්වරයායි. ඔහු තමයි 1977 ලංකාවට විවෘත ආර්ථිකය ගෙනාවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තරුණා කාලෙ ජනතා විමුක්ති පෙරමුණේ රැලි බලන්න ගිහින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉඳලා තියෙනවා.
ඒ නිසා මම හිතන්නෙ දේශපාලනය කියන්නේ අපි අධ්‍යයනය කරන දෙයක්. ඒ අධ්‍යයනයේදී එක එක තැන්වල ඉඳලා තමයි අපි මේ දේ අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ වුණත් මම දැන් අවුරුදු 25 ක පමණ කාලයක ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ යටිබිම්ගත දේශපාලනයේ ක්‍රියාකාරීව සිටි බව අභ්‍යන්තර නායකයන් දන්නවා.
Q ඔබ සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට එ.ජා.ප.යේ කවුරුන් හෝ විරුද්ධ වූවාද?
මම හිතන්නෙ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්යෙන් තරග කරන සියලුම අපේක්ෂකයන් මම තරග කරනවාට කැමැත්තක් දක්වනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ඔවුන් විශ්වාස කරනවා මට යම්කිසි ඡන්ද ප්‍රමාණයක් අලුතින් එකතු කරගෙන පක්ෂයට දායකත්වය දක්වන්න පුළුවන් කියලා.
අවුරුදු 30 ක් පමණ දේශපාලනය කරලා පළමු වතාවට මැතිවරණයකට ඉදිරිපත් වන අවස්ථාවේ ඔවුන් උදව් කිරීමේ කාරණය හැර හානි කිරීමේ කාරණාවක් කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
Q පක්ෂය, සමාජය සහ තමන් කියන අංග තුනෙන් ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ කුමකටද?
මම ප්‍රමුඛත්වය දෙන්නෙ සමාජයට. මොකද මම ඉන්නෙ සමාජය ඇතුළෙයි. සමාජය තෝරාගන්නා සැණෙකින් ඒ තුළ මා සිටින නිසා මාව නියෝජනය වෙනවා. සමාජයක් නැතිව බෝඩ් ලෑලි පක්ෂවල ඉඳලා තේරුමක් නැහැ. පක්ෂයක් හදන්න නම් සමාජයක් සමග ඉන්නම වෙනවා. මම සමාජය තෝරාගත්තාම ඒ තැන මමත් ඉන්නවා, පක්ෂයත් ඉන්නවා.
Q රචකයෙකු ලෙස ඔබගේ නිර්මාණ ග්රන්ථ තුළින් ඔබ වැඩි වශයෙන්ම කතා කළේ කාන්තාවන් ලක්වන පීඩනය සම්බන්ධව. දේශපාලනයට පැමිණ ඒ සඳහා විසඳුමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවාද?
ඔබ කියන කාරණය හරි. මගෙන් වැඩි වශයෙන් සම්මුඛ සාකච්ඡා අරගෙන තිබෙන්නේ ලංකාවේ කාන්තා පත්තර. ඒ නිසා තමයි ඒ දේ එහෙම වෙන්නේ. ඒ වගේම ලිපි තුළදී මගෙන් වැඩිපුරම අහල තියෙන්නේ මෙවැනි ප්‍රශ්න. සාමාන්‍ය‘යෙන් පිරිමින් විසින් ගෙදර සිටින අම්මා, අක්කා, නංගි ගැන ස්ත්‍රිය පිළිබඳව කතා කළේ නැහැ.
පිරිමි සමාජය බරපතළ ලෙස විරුද්ධවන අවස්ථාවලදී පවා මම කාන්තාවන් වෙනුවෙන් බරපතළ ලෙස පෙනී සිට තිබෙනවා. නමුත් ඊට අමතරව ජාතිවාදයට එරෙහිව මම අවුරුදු 35 ක් පමණ එකදිගට අරගල කළා. ආගම්වාදී අදහස්වලට විරුද්ධව එකදිගට අරගල කළා. කාන්තා පීඩනයට එරෙහිව පමණක් නොව විවිධ දිශානතීන්ගේ අලුත් දෘෂ්ටිවාදය සමග මම අරගල කර තිබෙනවා. මම මැරෙනකම් ඒ අරගලය ඉවරකරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා.
Q ඔබ රචනා කළ 'අම්මා' ග්‍රන්ථය එළිදක්වද්දී ඔබ පැවසුවා 'අනිත් අය මඩගහන්න කලින් මම මටම මඩ ගහගන්නවා කියලා.' එය දේශපාලනයට පැමිණීමේ පෙර නිමිත්තක් වූවාද?
මීට අවුරුදු 27කට පෙර මම ලියූ 'සංගිලි පාලම' නවකතාව පිළිබඳව එහෙම නම් අහන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණෙන් මම ඉවත්වුණු වෙලාවෙ, ඒක ඇතුළෙ තිබුණු විවේචනද ඒ පොතේ තියෙන්නෙ කියලා. මොකද එය ජනතා විමුක්ති පෙරමුණේ 1988 - 89 ක්‍රියාකාරිත්වයේදී ලියපු පොතක්. නැහැ. එහෙම අදහසක් නොවෙයි.
මම හිතන්නේ මගේ දේශපාලනය සම්බන්ධ ඇත්ත කතාව තියෙන්නෙ 'අම්මා' පොතේ නෙමෙයි, මම ලියමින් ඉන්න 'කොළඹ කතාව' කියන අලුත් පොතේ. දේශපාලනයට එන්න අත්පොත් තියන්න කවුරුත් නවකතා ලියලා කියනවා කියලා මම හිතන්නෙ නැහැ.
Q අවස්ථා කිහිපයකදීම ආසන සංවිධායක ධුර සඳහා වගේම මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමටත් ආරාධනා ලැබුණා. ඒවා පිළිනොගත් ඔබ මෙවර හදිසියේම දේශපාලනයට පැමිණීමට අදහස් කළේ ඇයි?
අපට පුළුවන් දේවලුත් තිබෙනවා, බැරි දේවලුත් තිබෙනවා. විශාල ප්‍රසංගයක, විශාල රසික රසිකාවියන් ප්‍රමාණයක් සිටින තැනක සින්දු කියන්න ආසයි කියලා ගීතයක් කිව්වොත් මම විහිළුකාරයෙක් වෙනවා මිස ගායකයෙකු වෙන්නේ නැහැ. මට ඒ වැඩේ පහසු නැහැ.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න කියලා කිව්වා. එය කවුරුත් නොදන්නා කාරණවක්. මම කිව්වා ඒ කාරණාව මට පහසු නැහැ කියලා. ඒකට හේතුව තමයි මනුස්සයකුගේ ජීවිතයේ තිබෙනවා කළ හැකි දේ සහ නොහැකි දේවල්.
මට මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉල්ලන්න කියපු වෙලාවේ මම මාධ්‍යයට එක කතාවක් කිව්වා. ඒ තමයි "ඓශ්චර්යා පෙන්නලා මට ග්‍රීස් ගහේ නගින්න කියලා කිව්වට මම නගින්නේ නැහ"* කියලා. මහ ඇමතිකමක් තියෙනවා කියලා යන්න කිව්වට යන්න බැහැ. මම හිතනවා මගේ ජීවිතයේ මම ආපු ගමනේ මේ තමයි මහගිරිදඹ නගින වෙලාව. මේ වෙලාව තමයි මම දේශපාලනය කරන්න සුදුසු වෙලාව.
Q පසුගිය කාලය තුළ ඔබ විවිධ පුද්ගලයන් විවේචනය කළත්, රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග සුහදව සිටියේ මේ අවස්ථාව ඔබට ලැබෙන බව දැන සිටි නිසාද?
නැහැ. මම අනන්ත අප්‍රමාණව රනිල් වික්‍රමසිංහ මහත්මයා විවේචනය කරලා තිබෙනවා. එය එතුමාත් දන්නවා. අද මම එක රහසක් කියන්නම්. ඒ තමයි ජනවාරි 08 වැනිදා ඡන්දය පවත්වන්නත් පෙර මීට අවුරුද්දකට විතර කලින් අවිස්සාවේල්ල ආසනය භාරගන්න කියලා මට එ.ජා.ප.ය යෝජනා කළා. එවිට මම මෙයට සම්බන්ධ වෙලා සිටියේ නැහැ.
ලංකාවේ ජාතික නාළිකාවලින් පට්ට ගහපු වෙලාවේ, පත්තරවලින් පහර දීපු වෙලාවේ විරුද්ධ පක්ෂයේ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාව මම, මගේ පන්ති අවසන් කරන උත්සවයට රැගෙන ආවේ, ඒ නායකයා කෙරේ මා තුළ තිබුණු විශ්වාසය නිසා. ඒ විශ්වාසය තිබෙන තාක්කල් මම ඔහු සමග සිටිනවා.
Q එසේ වුවත් ඔබ අවසානයේ සත්‍යාගාරය තුළින් රනිල් වික්‍රමසිංහ මහතාට හයේ පහරවල් එල්ල කරන්න අවස්ථාවක් ලබාදුන්නා?
නැහැ. මම හිතන්නෙ එදා මම දාපු යෝකර්වලට අග්‍රාමාත්‍යතුමා ෆුල්ටොස් වගේ ගැහුවේ. ඇත්ත කාරණාව ඒකයි. ඒ කියන්නෙ මම දාපු ප්‍රශ්නවලට ඔහු ඉතාම සරල විදිහට උත්තර දුන්නා.
දේශපාලන වශයෙන් මෝරා වැඩුණු චරිතයක් ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට මගේ ප්‍රශ්න, ප්‍රශ්න නොවන ගාණකට වැටුණා. සත්‍යාගාරය වැඩසටහන නැවත බැලුවොත් ඔබට පැහැදිලි වෙයි ඔහු කලබල වුණේ නැහැ. නමුත් මම මේ වගේම ප්‍රශ්න කිහිපයක්ම තමයි නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂනායකවරයාගෙන් ඇහුවේ. නමුත් ඔහු උත්තර දුන්න ආකාරයයි, රනිල් වික්‍රමසිංහ මහත්මයා උත්තර දුන්න ආකාරයයි වෙනස්.
නිමල් සිරිපාල මහත්මයා කළේ මේසෙට ගහලා සැර කරලා, බය කරලා, මට කතා කරන්න ඉඩ නොදී ඔහු කතා කිරීමයි. එතකොට මිනිස්සු හිතනවා ප්රශ්නය සැරයි කියලා. ප්රශ්නය සැර නැහැ. මට ඉස්සරහින් හිටපු කෙනා කතා කළා සැරයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වාරයේදීත් මම අහපු ප්‍රශ්න සැරයි, නමුත් එයා කතා කරපු විදිහ සැර නැහැ.
රනිල් වික්‍රමසිංහ මහත්තයයි මමයි රණ්ඩු වුණා නම් මිනිස්සු ඔය ප්‍රශ්නෙ කියන්නෙ නැහැ. නමුත් රනිල් මහත්තයා රණ්ඩු වෙන ජාතියෙ නායකයෙක් නෙවෙයි. ඒකයි ප්‍රශ්න සැර නෑ වගේ පෙනුණේ. හරියට සචින් තෙන්ඩුල්කාර් සෙල්ලම් කරද්දි වගේ කටයුතු කළ නිසා තමයි ඒ වගේ පෙනුණේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා හොඳ දේශපාලන ක්‍රීඩකයෙක්.
Q ඔබ දේශපාලනයට පැමිණෙන්නෙ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් කියා කෙනෙකු චෝදනා කරන්න පුළුවන්?
ඔබ මගෙන් ඇහුවේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දේශපාලනයට මම එන මේ මොහොතේ දියවඩන නිළමේතුමාව මූල්‍ය අපරාධ ඒකකයෙන් ප්‍රශ්න කරන මොහොත, බැසිල් රාජපක්ෂ මහත්මයා මූල්‍ය වංචා සඳහා රිමාන්ඩ් කර ඇති මොහොත, සතොස මුදල් වංචාවක් සම්බන්ධව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා රිමාන්ඩ් කරලා ඉන්න මොහොත, සජින් ද වාස් ගුණවර්ධන රිමාන්ඩ් කර ඇති මොහොත. මේ කිසිවෙකු රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් මම කිසිම විටක අමානුෂික සතුටක් ලබන්නේ නැහැ.
Q මේ සිදුවීම්වලින් අලුතින් දේශපාලනයට එන අපට දෙන පණිවුඩය මොකද්ද?
තවදුරටත් හොරකම් කරපල්ලා කියලද නැහැ. තඹ දොයිතුවක් වංචා කරන්න එපා ඉරණම තමයි මේ පේන්නේ කියලා අපට පණිවුඩයක් දෙනවා. ඒ ඉරණම පෙනි පෙනියි දේශපාලනයට එන්නෙ. මේ මොහොෙත් අලුතින් දේශපාලනයට එන හැමෝටම සංඥා එළියක් තිබෙනවා. ඒ නිසා එය දැනගෙන එන කිසිම කෙනෙක් සමාජයෙන් හොරකම් කරයි කියලා මම හිතන්නේ නැහැ.
Q ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබාගතහොත් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන අමාත්‍ය ධුරයද?
මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ මට ඇමතිකමක් දෙයි කියලා. මම දේශපාලනිකව අවුරුදු 35 ක් පරිණතයි කියන දේ පාර්ලිමේන්තුව තුළ සිදුවුණ දෙයක් නොවේ. එය එළියේ අරගල සමග සිදුවුණු දෙයක්. මම හිතන්නේ මට හම්බ වෙන්නේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් විතරයි කියලා.
Q සන්නස්ගල කියන ගුරුවරයා, නිර්මාණකරුවා, දේශපාලඥයා කියන මේ අතුරින් වැඩිපුරම ජනප්‍රිය, කුප්‍රකට සහ සුප්‍රකට කවුරුද?
සිනමාකරුවා කුප්‍රකටයි, ගුරුවරයා සුප්‍රකටයි. ඒ ගුරුවරයාගේ සුප්රකටකම සහ දේශපාලනයේ තිබෙන 35 වසරක අත්දැකීම් පිළිබඳව සවිඥානිකව හිතුවොත් එහෙම මට ලැබෙන ඔබ පෙර ඇසූ කැබිනට් අමාත්‍ය ධුරය පිළිබඳව එතැනින් තීරණය කරන්න පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
